ජූනි මස භාණ්ඩ අපනයන ආදායමේ 20% වර්ධනයක් – තේ, කුළුබඩු ආදායම් පහළට/මැණික් ආදායම් ඉහළට

2022 වසරේ ජූනි මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය ඉපැයීම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,208.2ක් ලෙස සටහන්ව ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. ඒ අනුව මෙව 2021 වසරේ ජූනි මාසයේදී වාර්තා කළ ඩොලර් බිලියන 1.0 ක භාණ්ඩ අපනයන ආදායමට සාපේක්ෂව 20%ක වර්ධනයකි.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත අනුසාරයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය මෙම කරුණු ඉදිරිපත්ව තිබේ. මෙහිදී පෙර වසරට සාපේක්ෂව ඇඟලුම් සහ රෙදිපිළි, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන යනාදී අපනයන ඉපැයීම් ඉහළ යාම සිදුව තිබේ. එසේම විසිතුරු මසුන්, මුහුදු ආහාර, එළවළු, දියමන්ති මැණික් සහ ස්වර්ණාභරණ අපනයන ආදායමද ඉහළ ගොස් ඇතැයි එම මණ්ඩලය පවසයි.

මේ අතරින් ඇගලුම් සහ රෙදිපිළි අපනයන ආදායම ජූනි මාසයේදී ඩොලර් මිලියන 566.78ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2021 ජුනි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 414.15ට සාපේක්ෂව 36.85%ක වර්ධනයකි.  එසේම රබර් ආශ්‍රිත අපනයන ආදායම 7.18%කින්ද, පොල් ආශ්‍රිත අපනයන ආදායම 19.36%කින්ද ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් තේ ආශ්‍රිත අපනයන ආදායම මේ වසරේදී ඩොලර් මිලියන 116.49ක් ලෙස සටහන්ව ඇති අතර එය පෙර වසරේ ජූනි මාසයේදී වාර්තා කළ ඩොලර් මිලියන 123.91ට සාපේක්ෂව  -5.99% ක පහතවැටීමකි.

මේ අතර දියමන්ති සහ මැණික් සහ ස්වර්ණාභරන අපනයන ආදායම ඩොලර් මිලියන 40.72ක් ලෙස සටහන්ව ඇත. එය 2021 ජූනි මාසයේදී රැස් කරගත් ඩොලර් මිලියන 20.33ට සාපේක්ෂව 100.30%ක වර්ධනයකි. එසේම විසිතුරු මසුන් අපනයනය හරහා මේ වසරේ ජූනි මාසයේදී ඩොලර් මිලියන 3.06ක් හිමිව ඇති අතර, එය 2021 ජුනි මාසයේදී හිමි වූ ඩොලර් මිලියන 0.77ට සාපේක්ෂව 297.40%ක වර්ධනයකි. මීට අමතරව එළවලු අපනයන ආදායම ඩොලර් මිලියන 3.48ක් දක්වා 146.81%කින්ද, මුහුදු ආහාර අපනයන ආදායම ඩොලර් මිලියන 36.39ක් දක්වා 130.75%කින්ද ඉහළ ගොස් තිබේ.

එහෙත් 2022 ජූනි මාසයේදී කුළු බහු සහ සාන්ද්‍රික නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 31.74ක් දක්වා පෙර වසරට සාපේක්ෂව 10.99%කින් පහත වැටී තිබේ. එසේම බෝට්ටු නිෂ්පාදන ආදායම මේ වසරේ ජූනි මාසයේදී ඩොලර් මිලියන 0.31ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර වසරේ ජූනි මාසයේදී රැස් කරගත් ඩොලර් මිලියන 1.05 සාපේක්ෂව 70.49%ක පහත වැටීමකි.

මේ අතර 2022 වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළදී මෙරටට හිමිව ඇති සමස්ත භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,408.කි. එය 2021 වසරේදී එම කාලසීමාව තුළ හිමි වූ ඩොලර් මිලියන 5,699.1ට සාපේක්ෂව 12.4%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

Views: 135