හේමක අමරසූරිය C.W.Mackie PLC සමාගමේ සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත C. W. Mackie PLC සමාගමේ (CWM.N0000) නව සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ලෙස මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන හේමක අමරසූරිය මහතා ඊයේ දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇතැයි එම සමාගම පවසයි.

මෙතෙක් කලක් C. W. Mackie PLC සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඩබ්ලිව්.ටී. එල්ලාවල මහතා ඊයේ (28දා) පැවැති එම සමාගමේ 100 වැනි වාර්ෂික මහා සභා රැස්වීමෙන් අනතුරුව සිය ධුරයෙන් ඉවත්වීමත් සමගින්ම හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදුව තිබේ.

මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට හේමක අමරසූරිය මහතා එම සමාගමේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළේය. 2022 වසරේ ජනවාරි 01 වැනිදා සිට ඒ මහතා උප සභාපතිවරයා ලෙස පත්ව සිටියේය. මෙතෙත් කලක් එම සමාගම සතුව උප සභාපති ධුරයක් නොතිබීමත් විශේෂත්වයකි.

හේමක අමරසූරිය මහතා 2011 පෙබරවාරි 22 වැනිදා සිට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. ඒ මහතා සතුවූ කළමනාකරණ, කාර්මික, අලෙවිකරණ සහ ව්‍යාපාරික දැනුම ගෙවුණු කාලය තුළදී C. W. Mackie PLC සමාගම වෙත සුවිශේෂී අවස්ථාවන් උදාකරදුන් බවත් එම සමාගම පවසයි.

වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකු වන හේමක අමරසූරිය මහතා මීට පෙර සිංගර් සමූහයේ සභාපතිවරයා ලෙස දිගු කාලයක් සේවය කළේය. එසේම රෙග්නිස් ලංකා, නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව මෙන්ම බාටා සපත්තු සමාගමේද ඔහු අධ්‍යක්ෂ මණ්ඩලයන්හි කටයුතු කළේය.

C. W. Mackie PLC සමාගම SUNQUICK, SCAN JUMBO PEANUTS, KOTAGALA KAHATA, SCAN WATER, KELANI VALLEY CANNERIES LTD. (KVC), OCEAN FRESH TUNA සහ “STAR” BRAND යන වේගයෙන් අලෙවිවන පාරිභෝගික භාණ්ඩ සන්නාමවල හිමිකරුවා වෙයි.

මීට අමතරව අපනයන වෙළෙඳාම, කාර්මික නිෂ්පාදන, සීනි වෙළෙඳාම, ශීතකරන සහ වායුසමීකරණ ආශ්‍රිත උපාංග සහ නිෂ්පාදන අංශ යනාදී ලෙස ක්ෂේත්‍ර රැසකම C. W. Mackie PLC සමාගම ව්‍යාප්ත වී තිබේ.

වර්තමානයේදී C. W. Mackie PLC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ හේමක අමරසූරිය (සභාපති/ප්‍රධාන විධායක නිලධාරී), සී.ආර්. රණසිංහ (විධායක අධ්‍යක්ෂිකා), දේශබන්දු එම් ඩී.එස් ජයරත්න (විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ), අනුෂ්මාන් රාජරත්නම් (විධායකනොවන අධ්‍යක්ෂ), එස්.ඩී.ආර්. අරුද්ප්‍රගාසම් (විධායක නොවන අධ්‍යක්ෂ), ටී. සෙන්තිල්වර්ල් (විධායකනොවන අධ්‍යක්ෂ), මංගල පෙරේරා (විධායක අධ්‍යක්ෂ) සහ සංජීව රාජරත්නම් (විධායක නොවන අධ්‍යක්ෂ) යන මහත්ම මහත්මීන්ය.

Visits: 85