අයිඩියල් මෝටර්ස් මෙරට නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය Ideal Moksha හඳුන්වා දෙයි

අයිඩියල් මෝටර්ස් සමාගම විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය ලෙස Ideal Moksha වෙළඳපොළට හඳුන්වා දීම අද (ජුලි 28) ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරිණ.

මෙම Ideal Moksha රථය ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථයෙන් ආභාසය ලබා නිපදවනු ලැබූවක් බව සමාගම පවසයි. විශේෂයෙන්ම Ideal Moksha ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ තුළ පෙරළියක් ඇති කරන්නට සමත් මෝටර් රථයක් බවත් ඔවුන් හඳුන්වා දෙයි.

“වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින් ද මෙය හඳුන්වා දිය හැකිය. උසස්ම තාක්ෂණය සහ නිර්මාණ සංකල්ප භාවිතය සමඟින් වඩාත් තෘප්තිමත් රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙන නිසාම මෙම රථයට ‘Moksha’ යන නම යොදා ඇත. ශ්‍රී ලංකාවේ මාර්ගවලටත් හොඳින්ම ගැළපෙන මෙම මෝටර් රථය පෙනුම, ඉඩකඩ, සුවපහසුව සහ සම්බන්ධතාව අතින් ද කැපී පෙනෙයි.” සමාගම සඳහන් කරයි.

රෝද හතරේ ඉලෙක්ට්‍රික් කොඩ්‍රිසයිකල් වාහන මාදිලියට අයත් වන මෙම Ideal Moksha මෝටර් රථය 22.46 kWh ලිතියම් බැටරියකින් සමන්විත වේ. ඇම්පියර් 15 ගෘහස්ථ විදුලි පේනුවකට සම්බන්ධ කර පැය කිහිපයකින් ආරෝපණය කිරීමේ හැකියාව ඇති අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා දුරක් ගමන් කිරීමේ හැකියාව ද ඇත. කිලෝග්‍රෑම් 870ක බරින් යුතු මෙය 1080 rpm වේගයකින් ද සමන්විතය.

වඩාත් ඉඩකඩ සහිත වාහනයක් වන මෙහි රියදුරු සහ තවත් මඟීන් 3 දෙනෙකුට සුවපහසුවෙන් ගමන් කළ හැකිය. මෙහි පිටත පෙනුම ද්වි වර්ණ සංකලනයකින් යුක්තය. Apple CarPlay සහ Android Auto යෙදවුම් භාවිත කළ හැකි අඟල් 7ක මල්ටිමීඩියා ස්පර්ෂ තිරයකින් ද සමන්විත නිසා පාරිභෝගිකයන්ට තමන් ප්‍රියකරන ගීත, තොරතුරු හෝ සිතියම් වැනි දෑ සඳහා පහසුවෙන් පිවිසීමේ හැකියාව පවතී.

පූර්ණ වායුසමනය කළ මෝටර් රථයක් වන මෙහි push start සහ ඇලෝයි වීල් වැනි විශේෂාංග ද ඇතුළත් වේ. එමෙන්ම, Ideal Moksha රථයේ ඉලෙක්ට්‍රික් මෝටරය සඳහා වසර 2ක පූර්ණ වගකීමක් සහ බැටරියට මිලදී ගත් දින සිට වසර 5ක් දක්වා වගකීමක් හිමි වේ. දිවයින පුරා පිහිටි අපගේ අලෙවි ජාලය හරහා අසමසම සේවාවන් ලබා ගැනීමේ හැකියාව ද ඇත.‍

“ඕනෑම සමාජ තරාතිරමක අයෙකුට දැරිය හැකි මිලකට ලබා ගත හැකි ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් වන Ideal Moksha ශ්‍රී ලංකාවේ ගෘහස්ථ භාවිතය සඳහා වඩාත් හොඳින් ගැළපේ. මිලියන 1.5ක් ලියාපදිංචි ත්‍රිරෝද රථ සහ මිලියන 4.5ක් ලියාපදිංචි මෝටර් සයිකල් භාවිතා වන ශ්‍රී ලංකාව වැනි රටකට මෙය පිරිමැසුම්දායී මෙන්ම ආරක්ෂාකාරී, ස්මාර්ට් ප්‍රවාහන විසඳුමකි. පූර්ණ ස්වයංක්‍රීය මෝටර් රථයක් වන මෙහි ගියර් මාරුවක් නොමැතිව ආරම්භයේ සිටම 100%ක ව්‍යවර්ථයක් ලබා දෙයි.

පහසුවෙන් අවබෝධ කරගැනීමටත් සුවපහසු රියදුරු අත්දැකීමක් විඳගැනීමටත් Ideal Moksha ඔබට ඉඩකඩ සලසයි. ඉන්ධන අවශ්‍යතාවක් නොමැති නිසා ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් පවතින ලොකුම හිසරදයකින් මිදීමට ද පාරිභෝගිකයාට හැකිවේ. මේ සියලු සංකලනයන් සමඟ ඔබ වෙත පැමිණි Ideal Moksha, ශ්‍රී ලංකාවේ ගමන්බිමන් සංස්කෘතියට නව ප්‍රවේශයක් ලබා දෙන බවට සැක නැත. මෝටර් රථයක් ගැන සිහින දකින සාමාන්‍ය පුද්ගලයාගේ සිට වෙළඳ ක්ෂේත්‍රයේ විධායක නිලධාරියෙකු දක්වා පරාසයක ඕනෑම අයෙකුට ගැළපෙන මෝටර් රථයක් ලෙස ද Ideal Moksha අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය.” සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

තිරසර ප්‍රවාහන විසඳුම් සම්බන්ධයෙන් කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වූ, අයිඩියල් සමූහයේ නිර්මාතෘ/සභාපති, නලින් වෙල්ගම මහතා සහ කාලගුණ විපර්යාස පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රවීණයන් පිරිසකගේ මෙහෙයවීමෙන් Ideal Moksha නිර්මාණය විය. මෙහි සියලු නිෂ්පාදන කටයුතු සිදු කරන ලද්දේ අයිඩියල් සමාගමට අයත් රත්මලානේ පිහිටි හරිත වැඩබිම් පරිශ්‍රයේ දීය (මෙම වැඩබිම පූර්ණ වශයෙන් සූර්ය ශක්තියෙන් බලගන්වා ඇත).

මේ පිළිබඳ අදහස් දක්වමින් වෙල්ගම මහතා, “Ideal Moksha වෙළඳපොළට හඳුන්වා දීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් නිපදවීමේ මගේ සිහිනය සැබෑ කරගන්නට අද දවසේ මට හැකියාව ලැබුනා. ප්‍රවේශ මට්ටමේ මොටර් රථයක් වන මෙහි, ලෝකයේ හොඳම මෝටර් රථ තාක්ෂණයන්ට අදාළ නව්‍ය විශේෂාංග ගණනාවක් ද ඇතුළත් කොට තිබෙනවා. මෙවැන්නක් මගේ මවු රටට හඳුන්වා දෙන්නට ලැබීම, මගේ 35 වසරක මෝටර් රථ ව්‍යාපාරික අත්දැකීම් අතර සුවිශේෂී සන්ධිස්ථානයක්. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉලෙක්ට්‍රික් වාහන යුගයේ සමාරම්භය ද සනිටුහන් කරනවා” යනුවෙන් පැවසීය.

Views: 207