IPL කණ්ඩායම් හිමිකරුවන් විසින් දකුණු අප්‍රිකාවේ අලුත්ම T20 ක්‍රිකට් ලීගයේ කණ්ඩායම් 6ම මිලදී ගනී
දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති T20 ක්‍රිකට් ලීගයේ කණ්ඩායම් හයම මිලදී ගැනීමට ඉන්දියානු ප්‍රීමියර් ලීග් (IPL) කණ්ඩායම් හිමිකරුවන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. මෙම T20 ලීග් තරගාවලිය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මේ සම්බන්ධයෙන් පුවත් වාර්තාවක් ගෙන එන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට අනුව මෙහිදී ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් වන මුම්බායි ඉන්දියන්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස්, සන්රයිස් හයිදෙරාබාද්, රාජස්තාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් මෙලෙස දකුණු අප්‍රිකානු T20 ලීගයේ කණ්ඩායම් මිලදී ගැනීම සඳහා ලංසු ඉදිරිපත් කර තිබේ.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන මෙම T20 ක්‍රිකට් ලීගයේ ප්‍රධාන හවුල්කරුවා ලෙස එරට රූපවාහිනි විකාශන සමාගමක් වන SuperSport ආයතනය ක්‍රියා කරයි. එසේම මෙම T20 ලීගය සංවිධානය කිරීමේ සියලුම වගකීම් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ග්‍රැහැම් ස්මිත් වෙත පැවරීමටද දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ඊයේ තීරණය කර තිබුණි.
ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට මෙහිදී වැඩිම ලංසුවක් ඉදිරිපත් කර ඇති IPL ක්‍රිකට් කණ්ඩායම වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි. එහිදී කණ්ඩායම අයත් චෙන්නායි සුපර් කිංග්ස් (පෞද්) සමාගම හරහා ජොහැන්නස්බර්ග් කණ්ඩායම මිලදී ගැනීම සැලසුම වී ඇත. එසේම දෙවැනියට වැඩිම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමට අයත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. එහිදී කේප් ටවුන් කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගැනීම සැලසුම වී තිබේ. මීට අමතරව සන්රයිසස් හයිදෙරාබාද් කණ්ඩායම හිමි SUN Tv සමූහය පෝර්ට් එලිසබෙත් කණ්ඩායමේ හිමිකම ලබා ගැනීම සැලසුම වී ඇත.
IPL ලීගයේ අලුත්ම කණ්ඩායමක් වන ලක්නව් ජයන්ට්ස් කණ්ඩායම හිමි ආර්.පී සන්ජීව් ගොඑන්කා සමූහය දකුණු අප්‍රිකානු T20 ලිගයේ ඩර්බන් කණ්ඩායම මිලදී ගෙන ඇත. එසේම රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම පාර්ල් කණ්ඩායම මිලදී ගෙන ඇත. එසේම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සහිත ජින්ඩාල් සවුත් වෙස්ට් ස්පෝර්ට්ස් සමාගම මගින් ප්‍රෙටෝරියා කණ්ඩායමේ හිමිකම මිලදී ගෙන තිබේ.

Hits: 76