කොමර්ෂල් බැංකුව ඒෂියාමනි සම්මාන ප්‍රදානෝත්සවයේදී ගෞරවණීය සම්මාන දෙකක් දිනයි

ලොව සුපතල ඒෂියාමනි සඟරාව විසින් පැවැත්වූ නවතම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) බැංකුකරණය සම්බන්ධව හොඳම බැංකුව සහ පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් හොඳම බැංකුව’ යන ජාත්‍යන්තර සම්මාන යුගලය දිනා ගැනීමට සමත්ව තිබේ.

ඒෂියාමනි විසින් පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයන්හිදී කොමර්ෂල් බැංකුව විසින් සම්මාන යුගලක් ජයග‍්‍රහණය කළ පිට පිටම තුන්වන අවස්ථාව මෙය වේ. කොමර්ෂල් බැංකුව විසින් 2020 සහ 2021 වසර වලදී පිළිවෙලින් ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සම්බන්ධ හොඳම බැංකුව’ සහ ‘ආයතනික සමාජ වගකීම සම්බන්ධව හොඳම බැංකුව’ යන සම්මාන දිනා ගන්නා ලදී.

‘මෙම සම්මාන මගින් වර්තමාන තත්ත්වය තුළ අතිශයින් වැදගත් අංශ දෙකක බැංකුව විසින් දක්වා තිබෙන ඉහළම කාර්යසාධනය ඇගයීමට ලක්කර තිබෙනවා,’ යනුවෙන් මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා ප‍්‍රකාශ කළේය. ‘සුළු හා මධ්‍යම පරිමාණ ක්ෂේත‍්‍රය ආර්ථිකයක කොඳු නාරටිය ලෙසින් දැක්විය හැකියි. මේ වනවිට අපගේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මෙම ක්ෂේත‍්‍රයට සහයෝගය ලබාදීම වෙනදාට වඩා මේ අවස්ථාවේ වැදගත් වෙනවා. වර්තමාන ආර්ථික අර්බුදයේදී පීඩාවට පත්ව සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය සමග අපි අඛණ්ඩවම සබඳතාවය ගොඩනගා ගන්නවා. බැංකුව විසින් දෙවන සම්මානය දිනාගත් පාරිසරික, සමාජ සහ පාලනය (ESG) යන ක්ෂේත‍්‍රය කොටස් කරුවන්ට, පාරිභෝගිකයින්ට මෙන්ම නියාමකයින්ට ඉතාමත් වැදගත් ක්ෂේත‍්‍රයක්. මේ නිසා, උපායමාර්ගික වශයෙන් වැදගත් ක්ෂේත‍්‍ර දෙකක් සඳහා ඒෂියාමනි වෙතින් මෙම සම්මාන දිනාගැනීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා.’ 

‘සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණය සඳහා හොඳම බැංකුව’ යන සම්මානය මගින් විදහා දක්වන්නේ කාලීන වශයෙන් ඉතාමත් වැදගත් දෙයක් බවට පත්වී තිබෙන සුළු හා මධ්‍යම පරිමාණ මෙන්ම ක්ෂුද්‍ර ව්‍යවසාය අංශයට බැංකුව විසින් ලබාදෙන සහයෝගයයි. මේ අනුව, පසුගිය කාලයේදී කොඩිඞ්-19 වසංගතයෙන් සහ පසුව ආර්ථික අර්බුදයෙන් අරමුදල් ගැටලූ නිසා පීඩාවට පත්වූ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාවසාය ක්ෂේත‍්‍රයේ කාලීන අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් ඒ වෙනුවෙන් බැංකු සේවා සැපයීමට කොමර්ෂල් බැංකුව කටයුතු කර ඇත. මේ අතර, කොමර්ෂල් බැංකුවට මෙහිදී පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් හොඳම බැංකුව යන සම්මානය ලබාදී තිබෙන්නේ තිරසාර මූල්‍යනය, මූල්‍ය සාක්ෂරතාවය සහ බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය මගින් සිදුකළ උපායමාර්ගික වැඩසටහන් ඇගයීම සඳහායි.   

Visits: 56