සිසුන් 2000 කට තොරතුරු තාක්ෂණික රැකියා සඳහා කොමර්ෂල් බැංකුව සහ CISCO සහාය ලබාදෙයි

තරුණ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සහ CISCO නෙට්වර්කිං ඇකඩමිය විසින් ඒකාබද්ධව සංවිධානය කරන තොරතුරු තාක්ෂණ පාඨමාලා සිසුන් 2000 කට අධික පිරිසක් සාර්ථකව සම්පූර්ණ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. 

අනාගත තාක්ෂණික විශේෂඥයින් බිහි කිරීමට මෙම වැඩසටහන නිර්මාණය කර තිබෙන අතර තමන්ගේ තොරතුරු තාක්ෂණික කුසලතා වර්ධනය කර ගැනීමට කැමැත්තක් දක්වන අවුරුදු 13කට වඩා වයසැති දරුවන්ට මේ සඳහා බැංකුව ආරාධනා කර තිබුණි. මෙහිදී, මෙම දරුවන්ට ලෝකයේ ප‍්‍රමුඛතම තාක්ෂණික කුසලතා සහ වෘත්තීය සංවර්ධන වැඩසටහන වන CISCO විසින් අන්තර්ජාලය මගින් ඉදිරිපත් කර තිබෙන තොරතුරු තාක්ෂණික පාඨමාලා 07 කින් එකක් තෝරා ගැනීමට අවස්ථාව ලබාදී තිබුණි.  

කොමර්ෂල් බැංකුවේ තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය හා සම්බන්ධ සමාජ සත්කාර වැඩසටහන්වල කොටසක් ලෙස මෙම ඒකාබද්ධතාවය ආරම්භ කළේ බැංකුව විසින් පාසැල් වලට ප‍්‍රදානය කර තිබෙන තොරතුරු තාක්ෂණික විද්‍යාගාර වලින් උපරිම ප‍්‍රයෝජන ලබාගනිමින් කාලීන තොරතුරු සහ තාක්ෂණික දැනුම සිසුදරුවන්ට ලබාදීම අරමුණුකර ගනිමිනි. මෙමගින් සාම්ප‍්‍රදායික පන්ති කාමර සීමාවෙන් ඔබ්බට ගොස් CISCO වෙතින් කර්මාන්තයේ ප‍්‍රමුඛතම සහතිකයක් නොමිලේ ලබාගැනීමේ අවස්ථාව සිසුන්ට ලබාදීම කැපී පෙනේ.  

මෙම ඒකාබද්ධතාවයට අනුව බැංකුව විසින් මෙම සිසුන්ට දේශන සඳහා යන වියදම් ලබාදුන් අතර CISCO නෙට්වර්කිං ඇකඩමිය විසින් පාඨමාලා නොමිලේ හැදෑරීමේ අවස්ථාව ලබාදෙන ලදී. මෙම පාඨමාලා සම්පූර්ණ කළ සිසුන්ට CCNA, CCNP සහ සයිබර් ඔපරේෂන්ස් යන CISCO වෘත්තීය සූදානම් සහතික ලබාගැනීම සඳහා ශිෂ්‍යත්ව දිනාගැනීමේ අවස්ථාවද හිමිවේ. මෙම සහතිකවලට කර්මාන්තය තුළ ඉහළ ඉල්ලූමක් තිබෙන බව බැංකුව සඳහන් කරයි. මේ වනවිටත් තවත් සිසුන් 290 දෙනෙකු මෙම ඇකඩමිය තුළ තොරතුරු තාක්ෂණික පාඨමාලාවන් හදාරමින් සිටී.  

මෙම පාඨමාලා සමත්වු සිසුන් අතුරින් 1200 දෙනෙක් සයිබර් අවකාශයේ නව ප‍්‍රවණතාවයන්, අභියෝගයන් සහ ගැටලූ පිළිබඳව සාකච්ඡ කරන ‘සයිබර් ආරක්ෂාව පිළිබඳව හැඳින්වීමක්’යන පාඨමාලාව තෝරා ගත්හ.

කොමර්ෂල් බැංකුව විසින් මේ ආකාරයේම වැඩසටහනක් 2021 වසරේදී අන්තර්ජාලය මගින් CISCO නෙට්වර්කිං ඇකඩමිය සමග පැවැත්වූ අතර එහිදී පාඨමාලා 05 ක් හැදෑරීම සඳහා සිසුන් 3000 ක් ලියාපදිංචි විය.

Views: 68