ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යනවා – HCL කියයි

දැවැන්ත ආයෝජනයක් සමගින් ශ්‍රි ලංකාව තුළ සිය ව්‍යාපාර කටයුතු සිදු කරන ඉන්දියාවේ HCL Technologies තොරතුරු තාක්ෂණික නිෂ්පාදන සමාගම, වර්තමානයේදී මෙරට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුවද සිය ව්‍යාපාර මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සැලසුම් සකස් කර ඇතැයි පවසයි.

අද දිනයේදී ඉන්දියාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සී. විජයකුමාර් මහතා මේ බව පවසා තිබේ.  

ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි සමාගම වෙත පැවරී ඇති කාර්යයන් ඉන්දියාවේ සහ වෙනත් රටවල පිහිටි සිය කාර්යාල වෙත භාරදෙමින් මෙම තත්ත්වය කළමනාකරණය කිරිමට කටයුතු යොදන බවත් ප්‍රධාන විධායක නිලධාරියා මෙහිදී සඳහන් කර තිබේ.

“ඇත්තෙන්ම මෙතැනදී යම් අපහසුතාවන් තිබෙනවා තමයි, නමුත් ශ්‍රී ලංකාවේ කණ්ඩායම ඉතාමත් හොඳින් කටයුතු පවත්වාගෙන යනවා. එතැනදී අපගේ ඉන්දියානු කණ්ඩායම් යොදවමින් ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටිනවා.” යනුවෙන්ද HCL Technologies ප්‍රධාන විධායක නිලධාරියා වැඩිදුරටත් පවසා තිබේ.

එසේම සිය කටයුතු නියමිත ආකාරයෙන් සිදු කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවේ කණ්ඩායමට නොහැකි වුවහොත් එම කටයුතු ඉන්දියාවේ හෝ වෙනත් රටක පිහිටි කණ්ඩායම් මගින් භාරගෙන එය සිදු කරනු ඇති බවත් ඔහු මෙහිදී පැහැදිලි කර තිබේ.

ඉන්දියාවේ නොයිඩාහි මූලස්ථානය පිහිටි HCL Technologies සමාගමේ ශ්‍රී ලංකාවේ සිදු කරන ව්‍යාපාරය තුළ සේවකයන් 1,500කට අධික පිරිසක් සිටියි.

Visits: 143