ඒෂන ද සිල්වා NDB සභාපති ධුරයෙන් ඉවත් වීමට යයි

නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුවෙහි (NDB) සභාපතිවරයා ලෙස කටයුතු කරන ඒෂන ද සිල්වා එම ධුරයෙන් ඉවත් විමට තීරණය කර ඇතැයි පවසයි.

එම බැංකුව මගින් ඊයේ කොළඹ කොටස් හුවමාරුව වෙත මේ පිළිබඳව දැනුම් දී ති‍බේ.

ඒ අනුව ලබන ජූනි 30 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒෂන ද සිල්වා මහතා මෙලෙස NDB සභාපති ධුරයෙන් ඉවත්වීමට නියමිතව තිබේ.

එස්නා සමාගම් සමූහයේ සභාපතිවරයා වන රුවන්පුර ඒෂන උවින්ද්‍ර ද සිල්වා මහතා NDBබැංකුවේ නව සභාපතිවරයා ලෙස 2020 මැයි මාසයේදී පත් කෙරිණි. ඒ බැංකුවෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ කාවන් රත්නායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිස් වූ ධුරය සඳහාය.

එස්නා සමාගම් සමූහයට අමතරව ඒ මහතා හැන්ජින් ෂිපිං ලංකා, ෂර්මන් ලොජිස්ටික් (පෞද්) සමාගම, ස්ටාර් ලෙෂර් (පෞද්) සමාගම සහ එස්නා හොලිඩේස් (පෞද්) සමාගම්හි සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. එසේම Interocrean සමූහයේ, ෂර්මන් පුත්‍ර සමූහයේ සහ ෆෝට්‍රස් රිසෝට්ස් පීඑල්සී යන සමාගම්වල අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි.  ඒ මහතා 2011 වසරේ සිට මේ දක්වා කසකස්තානයේ කොන්සල් ධුරයද දරයි.

2021 දෙසැම්බර් 31 වැනිදා වනවිට NDB බැංකුවෙහි කොටස්හිමිකාරීත්වයෙන් 9.99%ක හිමිකාරීත්වය පවතින්නේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව මුරුසිය/නෝර්ෆන්ඩ් වෙතයි. එසේම 9.50%ක කොටස් හිමිකාරීත්වයක් සේවක අර්ථසාධක අරමුදලට හිමිය. එසේම ලංකා බැංකුවේ අංක 01 ගිණුමට 7.95%ක කොටස් හිමිකාරීත්වයක්ද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ – සාමාන්‍ය රක්ෂණ අරමුදල වෙත 6.08%ක් හිමිය.

Views: 83