PEOTV සහ Charana TV කාගිල්ස් පදනම සමග අත්වැල් බැඳගනිමින් “BADANAMU” ගෙන එයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම Internet Protocol Television සේවාව වන PEOTV සහ එහි දේශීය රූපවාහිනී නාලිකාවක් වන Charana TV කැටුව, කාගිල්ස් සමූහයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන කාගිල්ස් පදනම සමඟ විශේෂ සහයෝගීතාවකට පසුගියදා අත්සන් තැබී ය.

මෙම සහයෝගීතාව යටතේ, දෙවැනි භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා දරු දැරියන් වෙනුවෙන් “BADANAMU” අධ්‍යාපනික වැඩසටහන Charana TV ඔස්සේ විකාශය කෙරේ.

මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, කාගිල්ස් (සිලෝන්) පීඑල්සී හි නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් පේජ්, SLT VisionCom ප්‍රධාන විධායක නිලධාරී රුචිර වීරකෝන්, කාගිල්ස් විධායක අධ්‍යක්ෂ ඩිලන්ත ජයවර්ධන සහ කාගිල්ස් පදනමේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ.

“ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීම සහ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, කලා සහ ගණිත (STEAM) අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම රටේ දරු පරපුරේ ජීවිත නඟාසිටුවීමටත්, ඔවුන්ට අනාගත වෘත්තීය අවස්ථා උදාකර දීමටත් අතිශයින් වැදගත්. කාගිල්ස් පදනම සහ Charana TV අතර මේ හවුල්කාරීත්වයට අත්සන් තැබීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. මෙය විවිධාකාර වූ ක්‍රියාකාරකම් හා වැඩසටහන් ඔස්සේ රටේ ඉංග්‍රීසි අධ්‍යාපනය නගාසිටුවීම සඳහා අප ගන්නා උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

“BADANAMU අධ්‍යාපනික වැඩසටහන් මාලාව විකාශය කිරීම සඳහා PEOTV සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම පිළිබඳ කාගිල්ස් පදනම අතිශයින් සතුටට පත්වනවා. අපගේ ප්‍රධානතම කාර්යභාරය වන්නේ ආයතනික සමාජ වගකීම් නොපිරිහෙළා ඉටුකිරීම බව කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ විශ්වාසයයි. ව්‍යාපාරකරණයේ සීමාවෙන් ඔබ්බට ගොස්, සාමාන්‍යයෙන් අපගේ ව්‍යාපාර කටයුතුවලදී අප හා සම්බන්ධ නොවන ජනතාවට ද යහපත උදාකිරීම සඳහා අප කාගිල්ස් පදනම ස්ථාපිත කළා.” කාගිල්ස් (සිලෝන්) පීඑල්සී හි නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් පේජ් මහතා ප්‍රකාශ කළේය.

දරුවන්ට සතුට හා විනෝදය ලැබෙන පරිදි ඉංග්‍රීසි භාෂාව උගන්වන අතරම ඔවුන් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, කලා සහ ගණිත විෂයන් සම්බන්ධයෙන් උනන්දු කරවීම BADANAMU අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ ඉලක්කයයි. මෙය කාගිල්ස් පදනම දැනටමත් රට පුරා පෙරපාසල්වල ක්‍රියාත්මක කරමින් සිටින, පන්ති කාමර පදනම් කරගත් මුල් ළමා විය අධ්‍යාපන වැඩසටහන් මාලාව මගින් ඉටුකරන මෙහෙවර තවදුරටත් පුළුල් කරනු ඇත. මීට අමතරව දරුවන් වෙනුවෙන් හඳුන්වා දී ඇති Cargills ESL Home Learning විසඳුම මේ වනවිට තෝරාගත් කාගිල්ස් ෆුඩ් සිටි අලෙවිසැල් වෙතින් මිලදීගත හැකි වේ.

මෙම අධ්‍යාපනික වැඩසටහන, සති අන්තයේ පස්වරු 4.00 සිට 4.30 දක්වා Charana TV ඔස්සේ විකාශය කෙරේ. ඉංග්‍රීසි භාෂාවට අමතරව STEAM විෂයන් සම්බන්ධයෙන් දරුවන් උනන්දු කරවීම සඳහා රට තුළ ප්‍රමාණවත් තරම් වැඩසටහන් විකාශය නොවීමේ අඩුපාඩුව මෙමගින් යම්තාක් දුරකට හෝ මගහැරී යනු ඇත. Charana TV යනු බොහෝ දෙනෙකු නරඹන නාලිකාවක් වන නිසා, එය රටේ අනාගත පරපුරට ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදීමට මහඟු කාර්යභාරයක් ඉටුකරනු නොඅනුමානය.

Charana TV යනු දේශීය රූපවාහිනී නාලිකාවකි. ශ්‍රී ලංකාවේ සරුසාර, බහුවිධ සංස්කෘතික මූලයන්ගේ විචිත්‍රත්වය සොයා යාම එහි අරමුණ වන අතර, රටේ විවිධත්වයට ගරු කරමින්, ජනතාවගේ සෞන්දර්යාත්මක අවශ්‍යතා සපුරාලීම එහි මෙහෙවර වී ඇත. මේ වනවිට SLTMOBITEL – PEOTV සහ PEOTVGO නාලිකා අංක 5 ඔස්සේ සහ Ask Cable Vision නාලිකා අංක 15 ඔස්සේ Charana TV නැරඹිය හැකි වේ. එමෙන්මYouTube ඇතුළු අනෙකුත් ඩිජිටල් මාධ්‍යයන් හරහා රටේ තවත් විශාල පිරිසක් මෙම නාලිකාව නරඹති.

Visits: 62