සුහද වෙන්වීමකට එකඟ නම් ශ්‍රී ලංකාවේ ඩො.බි. 52ක විදේශ ණය ගෙවීමට දෙමළ ඩයස්පෝරාව උදව් කරනවාලු

සුහදව ඇති කරගන්නා වෙන්වීමකට ශ්‍රී ලංකාව එකඟ නම්, දැනට ශ්‍රී ලංකාව සතු ඩොලර් බිලියන 52ක් පමණ වන විදේශ ණය මුදල ආපසු ගෙවීම සඳහා උදව් කිරීමට කැමැත්තෙන් සිටින බව දෙමළ ඩයස්පෝරාව පවසයි.

ටැමිල්ස් ෆෝ බයිඩන් නමින් හඳුන්වන කණ්ඩායමක අධ්‍යක්ෂවරයා විසින් මේ පිළිබඳව සිය ලිපියක් මගින් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මහජන ඡන්දයෙන් තේරීපත් වූ නායකයන් විසින් දෙමළ ඩයස්පෝරාවෙන් සිදු කරන ලද උපකාරය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පළ කර ඇත.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වන අධ්‍යක්ෂවරයා, සිය කණ්ඩායමේ ප්‍රකාශකවරයා විසින් විවිධ පාර්ශ්වයන් සමගින් සිදු කළ සාකච්ඡාවලට අනුව – ශ්‍රී ලංකාව මෙම ආර්ථික අර්බුදයෙන් ආරක්ෂා කරගැනීම සහ දෙමළ ජනතාව ශ්‍රී ලාංකික ජනසංහාරයෙන් මුදවා ගැනීමට මින් අවස්ථාවක් සැලසෙන බවද පවසා සිටියි.

“ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය කාරණා කිහිපයක් නිසා සිදු වූවක්. ප්‍රධානම කරුණක් වන්නේ යුද්ධය සහ ඒ සඳහා ආයුධ මිලදී ගැනීමට ශ්‍රී ලංකාව ණය ලබා ගැනීමයි. අනෙක වන්නේ රජයේ සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ දැවැන්ත වංචා සහ දූෂණයි.” යනුවෙන්ද මෙහි සඳහන්ව තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව තුළ සිදු වුණු වාර්ගික අතුගාදැමීමේ ක්‍රියාවලිය හරහා කුඩා ව්‍යාපාර, ඉහළ මට්ටමේ තාක්ෂණ හා සම්බන්ධ රැකියා, නිෂ්පාදන, අපනයන සහ පුහුණු අවස්ථාවන්ගෙන් දෙමළ ජනතාව ඈත් කිරිම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට, කළමනාකරණ කාර්යක්ෂමතාවයට සහ ඵලදායිතාවට බාධා එල්ල වූ බවත්, මේ හරහා ශ්‍රී ලංකාව විසින් තමන්ටම අලාභයක් සිදු කරගත් බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

“අධ්‍යාපනය සහ රැකියා සම්බන්ධයෙන් වාර්ගික වෙනස්කම් කිරීම, රජයේ පීඩනය, ඉඩම් කොල්ලය, බොහෝ සංහාර (ජනවාර්ගික කෝලාහල), සහ තවත් ගණන් කළ නොහැකි දෙමළ විරෝධී ක්‍රියා හේතුවෙන් දෙමළ ජනයාට ශ්‍රී ලංකාව හැර යාමට බල කර ඇත.” මෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර, පසුගිය සමයේ සිදුවූ ජාතිවාදී සිදුවීම් සියල්ල ශ්‍රී ලංකාව මෙම ආර්ථික අර්බුදය දක්වා රැගෙන ගිය බවත් මෙම සටහනේ දැක්වෙයි.

ඒ අනුව මෙය එක රැයකින් සිදු වූවක් නොවන බවත්, එය 1977 වාර්ගික කෝලාහලයෙන් ආරම්භ වූවක් වන බවත් පවසයි. විශේෂයෙන්ම
ශ්‍රී ලංකාව සිය හමුදාවෙන් 90% ක් දෙමළ ප්‍රදේශවල රඳවා තැබීමක් සිදු කරන බව පෙන්වා දී ඇති මෙම සටහන, හින්දු කෝවිල් වෙනුවට බෞද්ධ සංකේත දමා දෙමළ ජනයාගේ ඉඩම් අත්පත් කර ගෙන ඇතැයිද සඳහන් කර ඇත. ඒ අනුව මේ සියල්ල 2022 වර්ෂයේ ගල් යුගයේ හැසිරීමක් සේ පෙනෙන බවත් එහි සඳහන් වෙයි.

“ඊළාම් දෙමළ යැයි ආඩම්බරයෙන් පවසමින් විදේශ රටවල ජීවත් වන ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මිලියන දෙකක් සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අද මූල්‍යමය වශයෙන් හොඳ, ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති සහ විවිධ ක්ෂේත්‍රවල මනා පුහුණුවක් සහ පළපුරුද්දක් ඇති අය වෙති. ස්වෛරී දෙමළ ජාතියක් යනු කිසිදු ආර්ථික කරදරයකින් තොරව පවතින්නකි. ස්වෛරී දෙමළ ජාතියක ආර්ථිකය සහ අනෙකුත් ආයතන පවත්වාගෙන යාමට ඩයස්පෝරාවේ ඉහළ දක්ෂතා ඇති සාමාජිකයන් ගෙන්වා ගැනීමක් සිදු කළ හැකි වෙනු ඇත.”

ඒ අනුව ශ්‍රී ලංකාව සුහදව බෙදී වෙන්වීමට එකඟ වුවහොත් ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට දෙමළ ඩයස්පෝරාව සූදානමින් සිටින බවත් මෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

Views: 550