ශ්‍රී ලංකාවේ ඩොලර් ඉපැයීම් ඉහළ නැංවීමට ධම්මික පෙරේරාගෙන් ක්‍රමෝපාය 12ක්

වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදය පිටුදැකීම සඳහා දැඩි අවශ්‍යතාවක්ව පවතින රටෙහි ඩොලර් ඉපැයීම් ඉහළ නැංවීම වෙනුවෙන් යොදා ගත හැකි ක්‍රමෝපායික යෝජනා 12ක් ඉදිරිපත් කරන බව මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා පවසයි.

මෙහිදී එම ක්‍රමෝපාය 12 ක්‍රියාත්මක කිරීම හරහා රට වෙත වාර්ෂිකව තවත් අමතර එක්සත් ජනපද ඩොලර් බිලියන 08ක මුදලක් ගලා ඒමේ අවස්ථාවක් පවතින බවත් ඔහු පෙන්වා දෙයි. එහෙත් මෙම ක්‍රමෝපාය 12 ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ පාර්ශ්වයෙන් කිසිදු අමතර ප්‍රාග්ධන ආයෝජනයක් සිදුකළ යුතුව නොමැති බවත් ඔහු සඳහන් කරයි.

ඔහු මෙලෙස හඳුන්වා දෙන ක්‍රමෝපාය 12 යටතට ක්ෂේත්‍ර කිහිපයක් ඇතුළත් වෙයි. ඒ අනුව සංචාරක, කෘෂිකාර්මික, බලශක්ති උත්පාදනය, විදේශ රැකියා, උසස් අධ්‍යාපනය සහ තොරතුරු තාක්ෂණවේදය ඒ අතර වෙයි. මේ සියල්ලම විදේශ විනිමය උත්පාදනය මෙන්ම ඉතිරි කරගැනීමත් අරමුණු කරගත් ක්ෂේත්‍ර වෙයි.

මේ අතරින් සංචාරක කර්මාන්තයේදී සංචාරකයන් සඳහා ලබා දෙන වීසා බලපත්‍රයේ කාලසීමාව මාස හයක් දක්වා වැඩි කිරීම හරහා එම ආදායම 10%කින් වර්ධනය කරගත හැකි බව ඔහුගේ අදහසයි. එසේම අඩුමිල ගුවන් සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීම හරහා තවත් අමතර ඩොලර් බිලියන 2ක් ඉපැයිය හැකි බවත් ඔහු පවසයි.

එසේම කෘෂිකාර්මික ක්‍රමෝපාය යටතේ පොල් අපනයනය හරහා අමතරව ඩොලර් මිලියන 600ක් මෙන්ම රජය විසින් පනවා ඇති කටුපොල් වගා තහනම ඉවත් කිරීම හරහා ආනයනය සඳහා වැය කරන තවත් ඩොලර් මිලියන 200ක් ඉතිරි කර ගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මීට අමතරව දැනට විදේශගතව අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් වාර්ෂිකව පිටරටට ඇදීයන ඩොලර් බිලියන 2.5ක් පමණ වන මුදලින් 20%ක් පමණ ඉතිරිකරගැනීම සඳහා ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේම මෙරට වෙත විදේශ විනිමය ගෙන්වා ගැනීම සඳහා විදේහීය සිසුන් වැඩි වශයෙන් මෙරට තුළ අධ්‍යාපනය හැදෑරීම සඳහා ගෙන්වා ගැනීමත්කළ යුතු බවත් ඔහු පවසයි.

එසේම තොරතුරු සන්නිවේදන තාක්ෂණික සේවා අපනයනය හරහා සිදු කරන විදේශ විනිමය ඉපැයීම් ඩොලර් බිලියන 5ක් දක්වා වර්ධනය කර ගත යුතුව ඇතැයිද ඔහු සඳහන් කරයි.

මේ අතර බලශක්ති අංශය යටතේ නොරොච්චෝලේ සහ සාම්පූර්හිදී ඉදිකරන නව සූර්ය හෝ ගල්අගුරු බලාගාර වෙත ආයෝජනය සඳහා පෞද්ගලික සමාගම් වෙත අවස්ථාව ලබා දීමෙන් තවත් ඩොලර් බිලියන 1ක් ඉතිරි කරගත හැකි බවත් ධම්මික පෙරේරා මහතාගේ අදහසයි.

එසේම විදේශිකයන් සඳහා විශේෂ නේවාසික වීසා ක්‍රමවේදය තවදුරටත් පුළුල් කිරීම හරහා වසර පහක් තුළදී ඩොලර් බිලියන 5ක මුදලක් රැස් කරගත හැකි බවත් ඔහුගේ විශ්වාසයයි. මීට අමතරව වසර 10ක සැලසුමක් යටතේ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 24ක් දක්වා වර්ධනය කරගැනීමේ හැකියාවක් සම්බන්ධයෙන්ද ඔහු යෝජනා ලැයිස්තුගත කරයි.

මේ අතරම ලාභාංශ ගෙවීම්, ගුවන් සහ ප්‍රවාහන ගාස්තු, සංචරණ, ඉදිකිරීම්, රක්ෂණ, කර්තෘහිමිකම් ගාස්තු, දුරකතන සන්නිවේදන සහ පරිගණක සේවා ගාස්තු යනාදී බාහිර ගෙවීම් සියල්ලම ඩොලර් බවට පරිවර්තනය කරගනිමින් රජය මගින් තීරණය කර පොළී අනුපාතිකයක් යටතේ (උදාහරණ ලෙස 6%ක්) වසර තුනක කාලයකට තැන්පත් කිරීමක් පිළිබඳවද යෝජනා කරයි. මේ හරහා වාර්ෂිකව ඩොලර් මිලියන 300ක තැන්පතුවක් බලාපොරොත්තු විය හැකි බවත් ඔහු පවසයි.

මීට අමතරව අලුතින් ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කරගැනිම වෙනුවෙන්ද ඔහු මෙහිදී යෝජනා ඉදිරිපත් කර සිටියි.

“ශ්‍රී ලංකාවට මූලික අවශ්‍යතාවන්ව පවතින ඉන්ධන, ගෑස්, ඖෂධ, පොහොර සහ ආහාර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 6ක පමණ විදේශ විනිමය ගලා ඒමේ හිඟතාවක් පවතිනවා. මෙතැනදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළුව අනෙකුත් බහුපාර්ශ්වීය ආයතනත් තමන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ බාහිර ණය ස්තායිකරණයට ලක් කළ යුතු බව පවසා තිබෙනවා. මේ ඉහත සඳහන් කළ මූලික ක්‍රමෝපායික යෝජනා 12 ක්‍රියාත්මක කිරිම හරහා අනාගතයේදී රටට අමතර තවත් ඩොලර් බිලියන 8ක පමණ මුදලක් උපයා ගන්න හැකිවේවි.” ධම්මික පෙරේරා මහතා පවසයි.

ඒ අනුව මේ හරහා ශ්‍රී ලංකාවේ සාර්වආර්ථික ස්ථායිතාව ඇති කරගැනීමේ හැකියාවක් පවතින බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත පවතින බාධා ඉන් ඉවත් වන බවත් ඔහු පවසයි. ඒ හරහා රට ගලා එන විදේශ විනිමය ගලා ඒමක් සිදුවනු ඇතිබවත්, සිය සැලසුම හරහා රටෙහි ගෙවුම් ශේෂයේ පවතින පරතරය අඩු කිරීම සඳහා හේතුවක් වනු ඇතැයිද ධම්මික පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියි.

Views: 378