ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයෙන් දකුණු ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළේ කල්ලමරේ

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ අද වනවිට දකුණු ඉන්දියාවේ පිහිටි ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත බලාපොරොත්තු නොවූ ආර්ථික වාසි රැසක් හිමිව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලංකා රජයට අයත් ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය දිගුදුර ගුවන් මෙහෙයුම් සඳහා යොදා ගන්නා එයාර්බස් ගුවන් යානා වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට මෙම ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත පැමිණීම මෙලෙස එම ගුවන් තොටුපොළේ ආදායම ඉහළ නැංවීමට හේතුවක් වී තිබේ.

මෙහිදී දැනටමත් කොළඹ සිට ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපොළ දක්වා සහ කොළඹ සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දක්වා සිදු කරන ගුවන් යානා දෙකක් පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දින දෙකේදී තිරුවනන්තපුරම් නුවර පිහිටි මෙම ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත පැමිණ ඉන්ධන ලබා ගැනීම සිදු කර තිබේ.

මෙම ගුවන් ගමන් දෙකම පැය 12කට අධික පියාසර කාලයක් සහිත ඒවා බවත්, ඒ අනුව ආසන්න වශයෙන් එක් ගුවන් යානයක් සඳහා ගුවන් යානා ඉන්ධන ටොන් 120ක් පමණ අවශ්‍ය වන බවත් පැවසෙයි. එහිදී සිදු කළ දළ ගණනය කිරීම් අනුව මෙලෙස ගුවන් යානා වෙත ඉන්ධන පිරවීම හරහා පමණක් එම ගුවන් තොටුපොළ ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් කෝටියකට ආසන්න ආදායමක් උපයා ගෙන තිබේ.

එසේම තවමත් අවසන් නොමැති ඉන්ධන අර්බුදය හේතුවෙන් තවත් ශ්‍රී ලංකන් ගුවන් යානා ඉදිරියේදීද ඉන්ධන ලබා ගැනීම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණෙනු ඇති බවත්, ඒ අනුව ඉහළ යන ඉල්ලුමට සැපයුම් ලබාදීම සඳහා ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළද සූදානමින් සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. එහිදී දකුණු ඉන්දියාවේ පිහිටි මෙම ගුවන් තොටුපොළ කොළඹ නගරයට වඩාත් සමීපව පිහිටා තිබීම එම ගුවන් තොටුපොළ වෙත පැමිණීමට හේතුව වී තිබේ.

“ඉන්ධන පිරවීමේ ආදායමට අමතරව අද වන විට ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත ශ්‍රී ලංකන් ගුවන් යානා ගොඩබැස්සවීම සහ ගාල් කර තැබිම වෙනුවෙනුත් මුදල් හිමි වෙනවා. බොයිං 777 මාදිලියේ දැවැන්ත ගුවන් යානාවලට පවා ගාල් කර තැබිය හැකි ඉඩක් අපේ ගුවන් තොටුපොළේ තිබෙනවා. ඒ නිසා මෙය ගුවන් තොටුපොළට ලැබුණු හොඳ අවස්ථාවක්. තවත් ගුවන් යානා අපි වෙතට පැමිණේවි.” යනුවෙන් එහි නිලධාරියෙකු පවසා තිබේ.  

වර්තමානයේදී මෙම ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළේ මෙහෙයුම්, කළමනාකරණය, අලුත්වැඩියාවන් සහ පුළුල් කිරීම් කටයුතු සියල්ලම අදානි සමූහය මගින් පවත්වාගෙන යයි. වසර 50ක කාලයක් සඳහා ඇති කරගත් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මෙම කටයුතු සිදු වෙයි.

Visits: 181