හිටපු කොමර්ෂල් බැංකු CEO රෙන්ගනාදන් සන්ෂයින් හෝල්ඩිංග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ෂිවක්‍රිෂ්නරාජා රෙන්ගනාදන් මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි.

ඒ අනුව ඒ මහතා එම සමාගමෙහි ස්වාධීන විධායක – නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරී ඇත. 2022 මැයි 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරිම සිදුව තිබේ.

මෙම පත් කිරිම සිදුවන අවස්ථාව වනවිට රෙන්ගනාදන් මහතා සතුව සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම පවසයි.

බැංකු ක්ෂේත්‍රය තුළ 41 වසරකට අධික අත්දැකීම් සහිත රෙන්ගනාදන් මහතා මෙම පත්වීම ලැබීමට පෙර කොමර්ෂල් බැංකුමෙහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය. ඒ මහතා කොමර්ෂල් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස වසර අටකට ආසන්න කාලයක් ධුර දැරීමෙන් අනතුරුව පසුගියදා එම ධුරයෙන් විශ්‍රාම ගියේය.

විශේෂයෙන් බංග්ලාදේශය තුළ ක්‍රියාත්මකව පැවැති Credit Agricole indosuez හි බැංකු මෙහෙයුම් අත්පත් කරගනිමින්, බංග්ලාදේශය තුළ ඉතාමත් සාර්ථක ලෙස කොමර්ෂල් බැංකු මෙහෙයුම් ස්ථාපිත කිරිමට ඒ මහතා සිය අධ්‍යක්ෂ මණ්ඩල ධුරයේ පළමු වසර පහ තුළදී සමත්විය.

2011 වසරේදී ඒ මහතා කොමර්ෂල් බැංකුවෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පෞද්ගලික බැංකුකරණ අංශය ලෙස පත් කෙරිණි. අනතුරුව ඒ මහතා 2014 දී බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරිවරයා බවට පත්විය. 2018 දී ඒ මහතා කොමර්ෂල් බැංකුවෙහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කෙරිණි.

මේ අතර ඒ මහතා සිදු කර ඇති සමාජ මෙහෙවර සලකා බලමින් අධිකරණ අමාත්‍යාංශය මගින් දිවයිනටම බලපාන පරිදි සාමදින විනිශ්චයකරුවෙකු ලෙස පත් කර තිබේ.

Views: 109