මහ බැංකු අධිපතිගේ කාර්යභාරය ජනපතිගේ පැසසුමට

රටෙහි පැවැති මූල්‍ය අර්බුදය පත් ව කෙටි කාලයක් ඇතුළත පාලනයටත්, යහපත් අතට හැරවීමටත් මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ගත් ක්‍රියාමාර්ග ජනපතිවරයාගේ පැසසුමට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඊයේ දිනයේදී මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් මණ්ඩලයේ සාමාජික සංජීව ජයවර්ධන යන මහත්වරුන් සමඟ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති මහ බැංකු අධිපතිවරයා, ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ද දායකත්වය ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරමින් ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක ප්‍රගතියක් අත් කර ගෙන ඇතැයි සඳහන් කර තිබේ.

එසේම උද්ධමනය පාලනයට සහ ආර්ථිකයේ ශක්තිමත්භාවය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළද මහ බැංකු අධිපති වීරසිංහ මහතා විසින් පැහැදිලි කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වා ඇති ජනාධිපතිවරයා, මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කර ගෙන යාමට රජයේ පූර්ණ සහාය ලබා දෙන බව පවසා තිබේ. එහිදී කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බවත් ජනපතිවරයා අවධාරණය කළ බව මාධ්‍ය අංශය පවසයි.

මේ අතර, දැනටමත් සිදු කෙරෙමින් පවතින මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමෙන් සමාජ, ආර්ථික ස්ථාවරභාවය ළඟා කර ගැනීමට හැකි වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරන බවත් ජනපතිවරයා හමුවේ පවසා තිබේ.

ඒ අනුව නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මුදල් මණ්ඩලය ජාත්‍යන්තරව සිදු කරන ක්‍රියාදාමයේ සාර්ථකත්වය උදෙසා අවශ්‍ය අවස්ථාවලදී රාජ්‍ය නායක මට්ටමේ මැදිහත් වීමට තමා සූදානම් බවද ජනාධිපතිතුමා සඳහන් කර තිබේ.

Visits: 69