පරිසර විද්‍යාඥයන්ට පිරිනමන ‘ලීනියන් පදක්කම’ ශ්‍රී ලංකාවේ රොහාන් පෙතියාගොඩට

පරිසර විද්‍යාඥයින්ට පිරිනමන නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන ‘ලිනියන් පදක්කම’ (Linnean Medal) මෙවර ශ්‍රී ලංකාවේ වනජීවී පර්යේෂණ ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කළ කීරිතිමත් විද්‍යාඥයෙකු වන රොහාන් පෙතියාගොඩ මහතාට හිමිව තිබේ. ඒ අනුව එම පදක්කම දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසටද ඔහු ඉතිහාසයට එක්ව සිටියි.

ලන්ඩනයේ ලිනියන් සංගමය ස්වභාවික ඉතිහාසයට කැප වූ ලොව පැරණිතම ක්‍රියාකාරී සමාජයයි. විද්‍යාවට කරන සේවය සඳහා සංගමයේ ගෞරවය සහ අගය කිරීමේ ප්‍රකාශනයක් ලෙස ලෝකයේ විශිෂ්ඨ සේවයක් කළ විද්‍යාඥයින් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට (ඕනෑම ක්ෂේත්‍රයක) කවුන්සිලය විසින් වාර්ෂිකව පදක්කම් ප්‍රදානය කරනු ලැබේ.

ඒ අනුව සත්ත්ව විද්‍යාව සඳහා පිරිනමන පදක්කම (Linnean Medal – Zoology 2022) මෙවර රොහාන් පෙතියාගොඩට හිමිව තිබෙන බව මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන බී.බී.සී. පුවත් සේවය පවසයි.

රොහාන් පෙතියාගොඩ මහතා නව ජීව විශේෂ මෙන්ම ලොවින් වඳවී ගිය බවට විශ්වාස කළ ජීව විශේෂ 100ක් පමණ විදු ලොවට හඳුන්වාදුන් පර්යේෂකයෙකු , සත්ත්ව වර්ගීකරණ විද්‍යාඥයෙකු, ග්‍රන්ථ කතුවරයෙකු, කළමනාකරුවෙකු මෙන්ම ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු ලෙස සැලකෙයි.  

රොහාන් පෙතියාගොඩ ලොවට හඳුන්වාදුන් ජීවින් විශේෂ අතර බන්දුල පෙතියා (Pethia bandula) සුවිශේෂී මත්සයෙකි. ඒ එම මත්සයා මුළු ලෝකයෙන්ම දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක් වීම සහ ශ්‍රී ලංකාවේද එකම ස්ථානයක පමණක් දක්නට ලැබීමයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ, මිනීමරුකොලනිය ප්‍රදේශයෙන් ගලා යන දොළ පහර දෙකක ඉතා සීමිත ප්‍රදේශයක පමණක් එම මත්ස්‍යයා දක්නට ලැබේ.

ඒ මහතා ශ්‍රී ලංකාවේ උභයජීවීන්, මිරිදිය මසුන්, මිරිදිය කකුළුවන් සහ සිවුපා උරගයින් ගැන පර්යේෂණ රැසකට දායකවී තිබේ. එසේම තමන් සිදු කළ පර්යේෂණවලට අමතරව අංකුර පර්යේෂකයන්ට සහ ආධුනික විද්‍යාඥයින්ට නව පර්යේෂණ සඳහා මග පෙන්වීමට 90 දශකයේදී ඔහු වනජීවී උරුම භාරය (Wildlife Heritage Trust) ආරම්භ කරන ලදී.

ඒ හරහා ශ්‍රී ලංකාවට ආවේණික ජීව විශේෂ රැසක් විදු ලොවට හඳුන්වා දීමට ආධුනික විද්‍යාඥයින්ට හැකිවිය. එය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ වටිනාකම ඉහළ දමන්නට හේතු වූ අතර වනජීවී පර්යේෂණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය.

1956 නොවැම්බර් මස 19 වැනි දින පේරාදෙණියේදී උපත ලද රොහාන් පෙතියාගොඩ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී සිසුවෙකි. පියා තේ වතු කළමණාකරුවෙකු වූ අතර ‘බෝඩිමක’ නැවතී අධ්‍යාපනය ලද ඔහුගේ නිවාඩු කාලය තලවකැලේ සහ ළිඳුල ප්‍රදේශවල තේ වතු ආශ්‍රිතව ගෙවුණි.

සාමාන්‍යපෙළ විභාගයෙන් පසු ඔහු එංගලන්තයට ගොස් ලන්ඩන් නුවර පිහිටි කිංග්ස් කොලේජ් වෙතින් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යා උපාධිය ලබා තිබේ. ඉන්පසු සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ජීව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව ගැන දර්ශන ශූරී (MPhil) උපාධිය ලබා ඇත.

කුඩා කල සිට ගහකොළට, ඇලදොළට පෙම් බැඳි පෙතියාගොඩ 1981දී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු ලෙසයි.

පසුව ඔහු ජල සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා රජයේ පරිසරය සහ ස්වභාවික සම්පත් පිළිබඳ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කළේය.

තේ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු ද වන ඔහු ලෝක සංරක්ෂණ සංගමයට (IUCN) සම්බන්ධවී සිය පරිසර විද්‍යාත්මක දැනුම සංරක්ෂණය සඳහා යෙදවීමට කටයුතු කරන ලදී. එමෙන්ම ඔහු පර්යේෂකයෙකු ලෙස ඔස්ට්‍රේලියාවේ ද සේවය කර තිබේ.

Views: 109