පිලිපීනය එලෝන් මස්ක්ගේ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට අනුමැතිය ලබා දෙයි

සුප්‍රසිද්ධ ව්‍යාපාරික එලෝන් මස්ක් විසින් හඳුන්වා දී ඇති චන්ද්‍රිකා අන්තර්ජාල සේවා සම්පාදන සමාගම වන Starlink සමාගම වෙත පිලිපීනය තුළ මෙහෙයුම් සිදු කිරීම සඳහා වන අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව එරට තුළ ඉදිරියේදී චන්ද්‍රිකා තාක්ෂණය ආධාරයෙන් අන්තර්ජාල පහසුකම් සැලසීමේ අවස්ථාව Starlink සමාගම වෙත අවස්ථාව උදා වී තිබේ.

පිලිපීනයේ ජාතික දුරකතන සන්නිවේදන කොමිසම (NTC) මගින් මෙම අනුමැතිය ලබා දී ඇත. එහිදී අගය එකතු කළ සේවා සම්පාදකයෙකු ලෙස Starlink සමාගම වෙත එරට තුළ ලියාපදිංචිවීම සඳහා අනුමැතිය හිමිව තිබේ.

මෙම අනුමැතිය හරහා Starlink සමාගමට ඍජුවම චන්ද්‍රිකා පද්ධති වෙත යොමුවීම සහ බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ස්ථාපිත කිරිම සහ මෙහෙයවීම සිදුකළ හැකි බව සඳහන් වෙයි.

එම කොමිසම සඳහන් කරන ආකාරයට අග්නිදිග ආසියානු කලාපය තුළ Starlink සමාගම සඳහා අනුමැතිය හිමි වූ පළමු රට බවටත් පිලිපීනය පත්ව තිබේ. මේ හරහා අධිවේගී, අඩුවියදම් අන්තර්ජාල සේවාවන් එරට ජනතාව වෙත ලබාදීමේ හැකියාවක් ලැබෙනු ඇතැයිද එම කොමිසම පවසා සිටියි.

එහිදී විශේෂයෙන්ම Starlink සම්ප්‍රාප්තියත් සමගින්ම පිලිපීනය තුළ මෙතෙක් අඩු අවධානයක් යොමු වුණු ප්‍රදේශ වෙත අන්තර්ජාල සන්නිවේදනයෙන් බලගැන්වීමට හැකිවෙනු ඇතැයි එම කොමිසමේ කොමාසරිස්වරයාද සඳහන් කර තිබේ.  

එලෝන් මස්ක්ගේ අභ්‍යවකාශ මෙහෙයුම් හා සම්බන්ධ SpaceX සමාගම යටතේ මෙම Starlink සමාගම ක්‍රියාත්මක වෙයි.

පිලිපීනය තුළ මෙම අනුමැතිය හිමිවීමත් සමගින්ම SpaceX සමාගමේ මෙන්ම Starlink සමාගමේද කොටස් වටිනාකම් මේ වනවිට ඉහළගොස් ඇතැයිද සඳහන් වෙයි.

මේ අතර පිලිපීනයට අමතරව නයිජීරියාව සහ මොසැම්බික් රාජ්‍යයත් ඊයේ දිනයේදී Starlink සමාගම සඳහා අනුමැතිය ලබා දී ඇතැයි එලෝන් මස්ක් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

Visits: 141