අදානි සමූහය ඩො.බි. 10.5කට ඉන්දියාවේ හොල්සිම් සිමෙන්ති ව්‍යාපාරය අත්පත් කරගැනිමේ එකඟතාවකට

ගෞතම් අදානිගේ සභාපතිත්වයෙන් යුත් අදානි සමූහය ඉන්දියාව තුළ හොල්සිම් සිමෙන්ති ව්‍යාපාරය එක්සත් ජනපද ඩොලර් බිලියන 10.5ක මුදලකට මිලදී ගැනීමට සූදානමින් සිටින බව පවසයි. ඒ අනුව මෙම අත්පත් කරගැනීම සඳහා වන එකගතාවට තම සමාගම ස්විස්ටර්ලන්තයේ පිහිටි හොල්සිම් ලිමිටඩ් සමාගම හා පිවිසි බව අදානි සමාගම සඳහන් කරයි.

අම්බුජා සිමෙන්ති වෙළෙඳ පොළ නිකුත් කරන අම්බුජා සිමෙන්ට්ස් ලිමිටඩ් සමාගම සහ ACC Ltd සමාගම් හොල්සිම් ලිමිටඩ් සමාගම යටතේ ඉන්දියාව තුළ මෙහෙයුම් සිදු කළ සිමෙන්ති නිෂ්පාදන සමාගම් වෙයි. ඒ අනුව මෙම එකඟතාවට අනුව එම සමාගම් දෙකේ හිමිකාරීත්වයද අදානි සමූහය වෙත හිමි වෙයි.

මෙම එකඟතාවට පිවිසීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ අදහස් දක්වා ඇති ගෞතම් අදානි, “ඉන්දියාව තුළ හොල්සිම් සමාගමේ වත්කම් සහ අපගේ හරිත බලශක්ති හා භාණ්ඩ ප්‍රවාහන සේවා එක්වීම හරහා ලෝකයේ වඩාත් පරිසර හිතකාමී සිමෙන්ති සමාගම බිහිකිරිමට හැකියාව ලැබේවි. එසේම අම්බුජා සහ ACC සමාගම්වල කණ්ඩායම් සාදරයෙන් පිළිගන්නවා.” යනුවෙන් පවසා තිබේ.

අද වනවිට අම්බුජා සිමෙන්ති සමාගමේ කොටස් අතරින් 63.19%ක ප්‍රතිශතයක් හොල්සිම් ලිමිටඩ් සමාගම වෙත හිමිය. එසේම ACC සමාගමේ කොටස් 54.53%ක් (අම්බුජා සිමෙන්ති සමාගම හරහා 50.05%ක්) හිමිව ඇත්තේද හොල්සිම් සමාගමටයි.

ගණන් බලා ඇති ආකාරයට හොල්සිම් සතුව ඉන්දියාව තුළ මෙම ව්‍යාපාරයේ වටිනාකම ඩොලර් බිලියන 10.5ක් ලෙස සටහන්ව තිබේ.

මෙම ගනුදෙනුව සම්පූර්ණවිමත් සමගින්ම ගෞතම් අදානිගේ අදානි සමූහය ඉන්දියාවේ දේශීය සිමෙන්ති කර්මාන්තය තුළ දෙවැනි විශාලතම සමාගම බවටත් පත්වනු ඇතැයි සඳහන් වෙයි.

අදානි සමාගම හා මෙම එකඟතාවට පිවිසීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති හොල්සිම් ලිමිටඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජැන් ජෙනිස්ච්, “අපගේ ව්‍යාපාරය අත්පත් කරගැනීමට අදානි සමූහය ඉදිරිපත්වීම ගැන මම සතුටට පත්වෙනවා. ඒ හරහා අපගේ සමාගමේ ඉන්දියාව තුළ ව්‍යාපර කටයුතු මීළග වර්ධන යුගය වෙත රැගෙන යාවි.” යනුවෙන් පවසා තිබේ.

මේ අතර අදානි සමූහයද පසුගිය වසරේදී ඉන්දියාව තුළ සිමෙන්ති නිෂ්පාදනයට පිවිසුනු අතර, එහිදී Adani Cement Ltd. සහ Adani Cementation Ltd. ලෙස සමාගම් දෙකක් පිහිටුවීම සිදුවිය. මේ යටතේ ඉදිරියේදී ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ධහේජ්හිදී සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රාය්ගර්හ්හිදී සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලා ඒකක දෙකක් ස්ථාපිත කිරීමටත් සූදානමින් සිටින බව සඳහන් වෙයි.

Views: 117