ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් අගමැති රනිල් හමුවෙයි

ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා කිහිපයක් අද දිනයේදී පැවැත්වුණු බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙහිදී රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වී තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර සහ පොහොර සැපයීමේ ගැටලු සඳහා සහය දැක්වීම පිළිබඳව එම සංවිධාන සමඟ පැවති සාකච්ඡාවලදී අවධානය යොමු වූ බවත් සඳහන් වෙයි.

මේ අතර අගමැතිවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින්, මෙම ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන දෙක හමුවීමට සමගාමීව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මේලනයක් පිහිටුවීම සම්බන්ධයෙන්ද විදේශ නියෝජිතයන් සමඟද සාකච්ඡා කර ඇති බව පවසා තිබේ. මෙහිදී මෙම සාකච්ඡා තුළ ධනාත්මක පසුබිමක් ඇති බවද අගමැතිවරයා පැහැදිලි කර තිබේ.

එසේම පසුගිය දින දෙක තුළ තමාගේ රැස්වීම්වලින් අනතුරුව රටේ පවතින මූල්‍ය අර්බුදය පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් කරන බව අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Visits: 43