ඩිල්මා නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දුගේ 92 වැනි උපන්දිනයට මඩකලපුවට කජු සැකසුම් මධ්‍යස්ථානයක්

සුප්‍රසිද්ධ ඩිල්මා තේ සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා, තේ කර්මාන්තය වෙත පිවිස වසර 72ක් සැපිරීමත්, මේ වසරට යෙදී ඇති ඔහුගේ 92 වැනි උපන්දිනයත් සමරමින් MJF Foundation මගින් පසුගිය මැයි 06 වැනිදා මඩකලපුවේදී කජු සැකසුම් මධ්‍යස්ථානයක් විවෘත කළ බව පවසයි.

ඩිල්මා සමාගමට අයත් Dilmah Conservation මූලිකත්වයෙන් මඩකලපුව තුළ ක්‍රියාත්මක කජු වගාව වෙත සම්බන්ධ වගාකරුවන් සඳහා සහායවීමක් ලෙස මෙම මධ්‍යස්ථානය ඉදිකර ඇත.

මෙම මධ්‍යස්ථානය හරහා සාමාන්‍ය කජු කිලෝග්‍රෑමයක් වෙත ලැබෙනවාට වඩා සැකසූ කජු සඳහා අමතර රුපියල් 60ක මුදලක් හිමි කරගැනීමට වගාකරුවන්ට අවස්ථාව ලැබෙන බව සඳහන් වෙයි.

කජු වගාව හරහා මඩකලපුවේ ජනතාවගේ සමාජ, ආර්ථික තත්ත්වය දියුණු කිරීමේ අරමුණින් වසර 10ක් තුළ කජු පැල ලක්ෂ 10ක් සිටුවීමේ ව්‍යාපෘතියක් යටතේ මෙම කටයුතු සිදු කර තිබේ.

එසේම මඩකලපුව ප්‍රදේශය වඩාත් හරිත පරිසරයක් බවට පත් කිරීමේ සැලසුම යටතේ මෙම වැඩසටහන  ‘Greening Batticaloa’ නමින් ක්‍රියාත්මක කිරීමටත් Dilmah Conservation පියවර ගෙන ඇත.   

Dilmah Conservation සඳහන් කරන ආකාරයට එහි නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා දැනට දශයකට පෙරාතුව නැගෙනහිර පළාතේ සිදු කළ සංචාරයකදී එහි වෙසෙන ජනතාව මුහුණ දෙන පාරිසරික විනාශය සහ ආර්ථික දුෂ්කරතා දැක තිබේ. එහිදී ඔවුන් වෙනුවෙන් යමක් කළ යුතු බව ඔහු කල්පනා කර ඇති අතර, ඒ අනුව මෙම ප්‍රදේශයේ පවතින වියළි දේශගුණය සඳහා ඔරොත්තු දෙන ආකාරයේ බෝග වගාවක් පිළිබඳව අවධානය යොමු ව ඇත. එහිදී මෙම කජු ගස් වගාව එම ගැටලු බොහෝමයක් විසඳීමේ හොඳම විසඳුම බවට හඳුනාගෙන තිබේ.

“නැගෙනහිර පළාත තුළ වනාන්තරහරණය සහ දේශගුණික විපර්යාස නිසා සිදුවන බලපෑම පිටුදැකීමේ අරමුණින් තමයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. කජු කියන්නේ ඉතාමත් අඩු අවධානයක් යොමු කරමින් වේගවත් ඵලදාවක් ලබා ගත හැකි භෝගයක්.” Dilmah Conservation සඳහන් කරයි.

ඒ අනුව 2010 වසරේදී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය යටතේ 2017 වන විට කජු පැල ලක්ෂ පහක් පැල කිරීම සිදුවිය. එසේම 2018 වන විට එය ලක්ෂ හතක් දක්වා වර්ධනය වී තිබේ. එසේම 2020 වන විට මෙම ව්‍යාපෘතිය මගින් සැලසුම් කළ ආකාරයට කජු පැල ලක්ෂ 10ක් සිටුවීමේ ඉලක්කය සාර්ථක කරගැනීමට හැකියාව ලැබී ඇත.

මෙම කජු පැල ලක්ෂ 10ක ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන කජු ප්‍රමාණය කිලෝග්‍රෑම් ලක්ෂ 10කි. එහිදී එක් කජු ගසකින් කිලෝග්‍රෑමයක ඵලදාවක් අපේක්ෂා කරයි.

එසේම කජු කිලෝවක මිල රුපියල් 2,000ක් බැගින් පවතින්නේ නම්, මෙම ව්‍යාපෘතිය හරහා නැගෙනහිර ප්‍රදේශය තුළින් වසරකට රටෙහි ආර්ථිකය වෙත ලබාදීම බලාපොරොත්තු වන ආදායම රුපියල් බිලියන 2ක් පමණ වන බවත් Dilmah Conservation සඳහන් කරයි.

Visits: 119