2021/22 මූල්‍ය වර්ෂයේදී ඉන්දියාවේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 27.07ක් වෙයි

2021/22 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාවේ බදු ආදායම ඉන්දියානු රුපියල් ට්‍රිලියන 27.07ක් බව එරට මුදල් අමාත්‍යාංශය පවසයි. 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මෙම මූල්‍ය වර්ෂය සඳහා වන අලුත්ම බදු ආදායම් පිළිබඳ දත්ත ඉදිරිපත් කරමින් එම අමාත්‍යාංශය ඊයේ මේ බව අනාවරණය කර තිබේ.

ඒ අනුව මෙම මූල්‍ය වර්ෂයේ ඉන්දියාවේ බදු ආදායම 2020/21 මූල්‍ය වර්ෂයේදී රැස් කරගත් ඉන්දියානු රුපියල් ට්‍රිලියන 20.27ක බදු ආදායම හා සැසඳීමේදී 34%ක වර්ධනයක් ලෙසද අමාත්‍යාංශය පෙන්වා දෙයි. එසේම මෙම මූල්‍ය වර්ෂයේදී ඉන්දියාවේ බදු ආදායම එරට දළ ජාතික නිෂ්පාදිතයෙන් 11.7%කට වඩා වැඩි අනුපාතයක් ගෙන ඇති බවත්, එය දශක දෙකකට පසුව වාර්තා කළ ඉහළම අනුපාතය ලෙසින්ද සැලකෙයි.

මෙහිදී 2021/22 මූල්‍ය වර්ෂය සඳහා වන බදු ආදායම් අතරින් රුපියල් ට්‍රිලියන 14.1ක් ඍජු බදු ලෙස සඳහන් වෙයි. එය පෙර මූල්‍ය වර්ෂයේදී රැස් කරගත් රුපියල් ට්‍රිලියන 9.45ක ඍජු බදු හා සැසඳීමේදී 49%ක වර්ධනයකි. එසේම 2021/22 මූල්‍ය වර්ෂය සඳහා රැස් කරගෙන ඇති වක්‍ර බදු ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 12.9ක් වන අතර එය පෙර මූල්‍ය වර්ෂයේ රැස් කරගත් රුපියල් ට්‍රිකියන 10.77ට සාපේක්ෂව 20% ඉහළ යාමකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඉන්දියානු මුදල් අමාත්‍යාංශය, “මෙය ආර්ථිකයේ ශක්තිමත් යථාවත්වීම පිළිබඳව කැපී පෙනෙන අවස්ථාවක්. විශේෂයෙන්ම බදුකරණය සම්බන්ධයෙන් වන අඩුපාඩු  මඟහරවමින් ඒ සඳහා වන දායකත්වය ඉහළ නැංවීම ඊට හේතුවක් වුණා. එතැනදී රටෙහි බදු නිලධාරීන් මෙම ඍජු සහ වක්‍ර බදු සඳහා වන දායකත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමක් සිදු කළා.” යනුවෙන් සඳහන් කර සිටියි.

ඉන්දියානු රජය මගින් සිය අයවැය හරහා 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ඇස්තමේන්තු කර තිබූ බදු ආදායම වූයේ රුපියල් ට්‍රිලියන 22.17කි.

Views: 124