ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ් පත් කෙරේ

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ මහතා 2019 ඔක්තෝබර් මාසයේ සිට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළේය. ඊට පෙර ඒ මහතා එවකට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළ ට්‍රෙවෝ බේලිස් මහතා යටතේ පන්දුයැවීමේ පුහුණු කරුවා ලෙස කටයුතු කළේය. එසේම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 2019 ලෝක කුසලානය ජයග්‍රහණය කළේද මෙම පුහුණුකරුවන් යටතේ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සිය ක්‍රිකට් දිවිය තුළදී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග හයකට සහ එක්දින තරග හතකට ක්‍රීඩා කර තිබේ. එසේම ඔහු යෝර්ක්ෂයර් සහ මිඩ්ල්සෙක්ස් යන ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම් සඳහාද ක්‍රීඩා කර ඇත.

මෙම නව පත් කිරිම සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා, “ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස ක්‍රිස් මහතා පත් කිරීම සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා. ඔහු ඉතාමත් ඉහළ අත්දැකීම් සහිත පුහුණුකරුවෙක්.  අපගේ ක්‍රිකට් කණ්ඩායම ඉදිරියට රැගෙන යාම සඳහා අප සොයන හැකියාවන් සියල්ලම ඔහු සතුව පවතින බව මෙම තනතුර සඳහා බඳවා ගැනීම සඳහා සිදු කළ සාකච්ඡාවේදී පැහැදිලි වුණා.” යනුවෙන් පවසා තිබේ.

මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම් ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ක්‍රිස් සිල්වර්වුඩ් මහතා, “ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රිකට් කණ්ඩායම සමගින් කටයුතු ආරම්භ කිරීමට මම නොඉවසිල්ලෙන් බලා සිටිනවා. ශ්‍රී ලංකාව සතුව වඩාත් දක්ෂ ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා. ඉතාමත් ඉක්මණින්ම මම ඔවුන් සහ පුහුණු කණ්ඩායම මුණ ගැසීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පවසා ඇත.

Visits: 127