සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගම හෙම්සන්ස් ඉන්ටර්නැෂනල් සමාගම අත්පත් කරගැනීමක

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයෙහි පරිපාලිත සමාගමක් වන සන්ෂයින් හෙල්ත් කෙයාර් ලංකා සමාගම මගින් හෙම්සන්ස් ඉන්ටර්නැෂනල් (පෞද්) සමාගම (Hemsons International (Pvt) Ltd) මිලදී ගැනීම සඳහා කටයුතු යොදා ඇතැයි පවසයි.

අද දිනයේදී සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ.

ඒ අනුව ඊයේ (මාර්තු 23දා) දිනයේදී සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඩ් සමාගම මගින් හෙම්සන්ස් ඉන්ටර්නැෂනල්ස් (පෞද්) සමාගමේ 60%ක කොටස් ප්‍රතිශතයක් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්පත් කරගත් බව මෙහි සඳහන්ව තිබේ. එහිදී රුපියල් මිලියන 228ක (228,000,000ක) මුදලකට මෙම ගනුදෙනුව සිදුව ඇත.

මේ අතර  සමාගම් දෙක අතර පවතින එකඟතාවට අනුව හෙම්සන්ස් ඉන්ටර්නැෂනල් (පෞද්) සමාගමේ ඉතිරි 40% ක කොටස් ප්‍රතිශතය ඉදිරි වසර දෙකක කාලයකට පසුව එනම් 2024 මාර්තු 31 වැනිදායින් පසු සන්ෂයින්  හෙල්ත් කෙයාර් ලංකා සමාගම මගින් අත්පත් කරගන්නා බවත් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මෙහිදී දැනුම් දී තිබේ.

අංක 36, ශ්‍රීමත් රෆික් ෆරීඩ් මාවත, කොළඹ 01 යන ලිපිනයෙහි පිහිටි මෙම හෙම්සන්ස් ඉන්ටර්නැෂනල් පෞද් සමාගමේ ඉතිහාසය 1948 වසර දක්වා දිව යන බව පවසයි. එය සමාගමක් ලෙස පිහිටුවා ඇත්තේ හෙමාස් සමූහ සමාගම් යටතේ ක්‍රියාත්මක වූ හේමාස් ඩ්‍රග්ස් (පෞද්) සමාගම මගිනි. අනතුරුව 1999 වසරේදී හෙම්සන්ස් ඉන්ටර්නැෂනල් (පෞද්) සමාගම පිහිටුවා තිබේ.

මෙරට තුළ විද්‍යාගාර උපාංග, වෛද්‍ය උපාංග, කාර්යාල සන්නිවේදන විසඳුම් අලෙවිය මෙන්ම ව්‍යාපෘති උපදේශකත්වය මුල්පෙළේ සමාගමක් ලෙස එය හඳුනාගෙන තිබේ. අද වනවිට ලොව රටවල් රැසක සමාගම් 60ක නියෝජනය කරන සමාගමක් බවට එය පත්ව ඇතැයිද පවසයි. එසේම ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට අමතරව මාලදිවයින් වෙළෙඳ පොළ වෙතද එම සමාගම නිෂ්පාදන අලෙවි කරයි.

Views: 946