මාසයක් තුළ දෙවැනි වරටත් බොරතෙල් බැරලයක් ඩොලර් 120 ඉක්මවයි

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල අද සන්ධ්‍යාව වනවිට ඩොලර් 121.58ක් ලෙස සටහන්ව තිබුණි. ඒ අනුව රුසියාවේ යුක්රේන ආක්‍රමණය ඇරඹී මාසයක් ගතවන අවස්ථාවේදී ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 ඉක්මවූ දෙවැනි අවස්ථාව ලෙසද මෙය සැලකෙයි.

ඉන්ධන මිල වාර්තාවලට අනුව රුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භ වූ පසුගිය පෙබරවාරි 25 වැනිදා ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 99.08ක් ලෙස සටහන් විය. පසුව මාර්තු 01 වැනිදා එය ඩොලර් 100.85ක අගයකට පත් වූ අතර මාර්තු 02 වැනිදා එය ඩොලර් 112 ඉක්මවීය.

එහිදී තත්ත්වය පාලනය සඳහා රටවල් 31ක් සිය බොරතෙල් සංචිත වෙළෙඳපොළ නිකුත් කිරීමට එකඟතාව පළ කිරීමත් සමගින්ම මිල ඉහළයාම පාලනය විය.

මේ අතර  පැවැති එම තත්ත්වය ප්‍රමාණවත් නොවී මාර්තු 07 වැනිදා වනවිට එම වටිනාකම ඩොලර් 123.21ක් විය. මාර්තු 08 වැනිදා එය ඩොලර් 130ක් දක්වා ඉහළ යාම සිදුවිය.

කෙසේ වෙතත් මාර්තු 09 වැනිදා සිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 112ක් දක්වා අඩු වූ අතර, මාර්තු 16 වැනිදා වනවිට එය ඩොලර් 98.00ක් දක්වා පහත වැටුණි. එහෙත් මාර්තු 18 වැනිදා සිට යළිත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 107ක් දක්වා ඉහළ යාමක් සිදු විය.

මේ ආකාරයට මාර්තු 18 වැනිදා සිට 22 වැනිදා දක්වා බොරතෙල් බැරලයක මිල යම් ස්ථාවරව පැවැතියත් මාර්තු 22 වැනිදා සිට එය යළිත් ඉහල යාම සිදුවිය.

මෙහිදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමට ආසන්නතම හේතුව වී ඇත්තේ රුසියාවට අයත් කළු මුහුදේ වෙරළට ඔබ්බෙන් පිහිටි කැස්පියන් පයිප්ලයින් කොන්සෝර්ටියම් (CPC) නම් පර්යන්තය වෙත පෙරේදා දිනයේදී එල්ල වූ සුළි කුණාටු තත්ත්වයයි. ඒ හේතුවෙන් ඊට සිදු වූ හානියත් සමගම බොරතෙල් සැපයුමේ බාධා ඇති වීම මීට බලපා තිබේ.

මෙම හානිය යළිත් පිළිසකර කිරීම සඳහා මාස දෙකකට ආසන්න කාලයක් ගත වෙනු ඇතැයි කැස්පියන් පයිප්ලයින් කොන්සෝර්ටියම් හි ප්‍රධානියා පවසා තිබේ. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවත් ඉහළ යනු ඇතැයි පුරෝකතනය කෙරී ඇත.

Visits: 124