Exterminators හි රු. මිලියන 60ක IPO හි අරමුණ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමලු

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පලිබෝධ කළමනාකරණ සමාගමක් වන Exterminators Limited සමාගම සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් කොළඹ කොටස් හුවමාරුවේ Empower පුවරුවෙහි ලැයිස්තුගත වීම සඳහා වන මූලික මහජන කොටස් නිකුතුව (IPO) ලබන මාර්තු 14දා (සඳුදා) විවෘත කිරීමට සූදානමින් සිටියි.

ඒ අනුව සමාගම මගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 10ක් නිකුත් කිරීම සැලසුම වන අතර එය සමාගමේ කොටස් ප්‍රමාණයෙන් 20%ක ප්‍රතිශතයකි. මෙහිදී කොටසක් රුපියල් 6.00ක් බැගින් මිල කෙරී තිබේ. මෙම සමස්ත නිකුතුව හරහා රැස් කිරිමට බලාපොරොත්තු වන මුදල රුපියල් මිලියන 60කි.

මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා අරමුදල්වලින් මේ වසරේදී අලුතින් සිය ශාඛා තුනක් පිහිටුවිම සඳහා ආයෝජනය කිරීම Exterminators Limited සමාගමේ මූලික අරමුණ වී තිබේ.

එසේම දැනට කොළඹ සහ මහනුවර පිහිටි එම සමාගමේ ශාඛා වෙත අලුතින් නවීනතම උපාංග මිලදී ගනිමින් සහ අලුතින් වාහන මිලදී ගනිමින් සමාගමේ තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරිම හරහා, සමාගමේ ප්‍රාග්ධනය වර්ධනය කරගැනීමට මෙම මුදල් යොදවන බවත් එම සමාගම පසුගියදා පැවැත්වූ ආයෝජක හමුවේදී සඳහන් කර තිබුණි.

මීට අමතරව මෙම මූලික කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා අරමුදල් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ නිෂ්පාදන තවදුරටත් වර්ධනය කරගනිමින්, රටෙහි විදේශ විනිමය පිටතට ගලා යැම අඩු කරගැනීම සඳහා දායකත්වයක් ලබාදිමටත් සැලසුම් කර ඇතැයි මෙහිදී අනාවරණය කෙරිණි.

Exterminators Limited සමාගමේ මූලික මහජන කොටස් නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශය සහ ආයෝජන අයැදුම්පත්‍ර ෆෝරම https://exterminators.lk/IPO වෙතින් ලබා ගත හැකිය.

මෙම මූලික මහජන කොටස් නිකුතුවෙහි කළමනාකරුවන් ලෙස Ararah Capital සමාගම ක්‍රියා කරයි.

මේ අතර 2020/21 මූල්‍ය වර්ෂය සඳහා Exterminators Limited සමාගම රුපියල් මිලියන 116ක ආදායමක් ලබා ගැනීමට සමත්ව සිටින අතර සමාගමේ බදු පසු ලාභය රුපියල් මිලියන 15කි.

එසේම ඉදිරියේදී සමාගම මගින් පෙන්නුම් කරන ශක්තිමත් කාර්යසාධනයත් සමගින් වත්මන් 2021/22 මූල්‍ය වර්ෂයේදී සිය බදු පසු ලාභය රුපියල් මිලියන 26ක් දක්වා වර්ධනය කරගැනීමටද සමාගම පුරෝකතනය කර තිබේ. එය පෙර මූල්‍ය වර්ෂය හා සැසඳීමේදී 70%ක වර්ධනයකි.

මේ අතර මෙම මූලික මහජන කොටස් නිකුතුවෙන් අනතුරුව Exterminators Limited සමාගම සිය මෙහෙයුම් විදේශයන්හිද ව්‍යාප්ත කිරිමට සූදානමින් සිටින බව පවසයි. එහිදී පළමු අදියර ලෙස මේ වසරේදී මාලදිවයින සහ එක්සත් අරාබි එමීරය වෙත සිය මෙහෙයුම් ව්‍යාප්ත කරන බව සමාගම සඳහන් කරයි. ඒ අතරින් දැනටමත් මාලදිවයින වෙත සමාගම සිය නිෂ්පාදන අපනයනය කරයි. එසේම වසර 2023 සී සීෂෙල්ස් සහ බොට්ස්වානා වෙතත් සිය ව්‍යාපාරය පුළුල් කිරිම සැලසුම වී ඇතැයි පවසයි.

Views: 398