එක්ස්ටර්මිනේටර්ස් මූලික මහජන කොටස් නිකුතුව මාර්තු 14දා – සංස්ථා ප්‍රකාශය හෙට (02දා)

මෙරට ප්‍රමුඛතම පලිබෝධ කළමනාකරණ සේවා සම්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන එක්ස්ටර්මිනේටර්ස් ලිමිටඩ් පෞද්ගලික සමාගම (Exterminators Sri Lanka) කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විමට සූදානමින් සිටින බව පවසයි.

ඒ අනුව ඊට අදාළව එම සමාගම මගින් සිදු කරන මූලික මහජන කොටස් නිකුතුව ලබන මාර්තු 14 වැනිදා විවෘත කිරිමට නියමිතව ඇතැයි කොළඹ කොටස් හුවමාරුව ඊයේ දිනයේදී එහි කොටස් තැරැව්කාර සමාගම් වෙත දැනුම් දීම සිදු කෙරිණි.

මෙහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 10,000,000ක් නිකුත් කිරීම එක්ස්ටර්මිනේටර් ලිමිටඩ් පෞද්ගලික සමාගමේ  සැලසුම වී තිබේ. එහිදී කොටසක් රුපියල් 6.00ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 60ක් (60,000,000ක්) ලෙස සටහන්ව ඇත.

මෙහිදී එම මූලික මහජන කොටස් නිකුතුවෙහි මූල්‍ය උපදේශකත්වය සහ කළමනාකරුවා ලෙස අටාරාහ් කැපිටල් පාර්ට්නර්ස් (පෞද්) සමාගම කටයුතු කරයි.

මෙම මූලික මහජන කොටස් නිකුතුවට අදාළව එම සමාගමේ සංස්ථා ප්‍රකාශය හෙට (මාර්තු 02 දා) එළිදැක්වීමටත් එක්ටර්මිනේටර්ස් ලිමිටඩ් පෞද්ගලික සමාගම සූදානමින් සිටියි.

Views: 583