බොරතෙල් මිල යළිත් ඉහළට – රටවල් 31ක් සිය බොරතෙල් සංචිත නිකුත් කිරීමට එකඟතාවක

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඊයේ (01 දා) දිනයේ සිට යළිත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි. විශේෂයෙන්ම රුසියානු හමුදාව යුක්රේනය වෙත සිදුකරන ප්‍රහාර දැඩි කිරීමත් සමගින්ම මෙම තත්ත්වය උදා වී තිබේ.

ඒ අනුව මෙරට වේලාවෙන් අද (02දා) පෙරවරු 5.30 වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 104.97ක අගයක් ගෙන තිබූ අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 106.39ක් බවට පත්ව තිබුණි.

මෙම මිල ගණන් පාලනය කිරීම සඳහා රටවල් රැසක් සිය බොරතෙල් සංචිත වෙළෙඳ පොළ වෙත නිකුත් කිරීමට ඊයේ එකඟතාවකට පත්ව තිබුණි. විශේෂයෙන්ම යුද ගැටුම් හේතුවෙන් බොරතෙල් සැපයුමේ පවතින බාධා මෙලෙස මිල ඉහළ යාමට හේතුවක් වී තිබීම ඊට හේතුව වී තිබේ.

ඒ අනුව පැරිස් නුවර පිහිටි බොරතෙල් ප්‍රතිපත්ති පිළිබඳ උපදෙස් ලබා දෙන අන්තර්රාජ්‍ය ආයතනය වන ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සාමාජික රාජ්‍යයන් මගින් සිය හදිසි අවස්ථා සංචිතයේ ඇති බොරතෙල් බැරල් මිලියන 60ක්නිකුත් කිරීමට මෙහිදී එකඟතාව පළ කර ඇත.

“අපගේ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රාජ්‍යයන් 31 ක් මගින් එකඟතාවකට පත් වුණා අප සතුව ඇති බොරතෙල් සංචිත ප්‍රමාණයක් නිකුත් කරන්න. ඒ හරහා කිසිදු ආකාරයකින්වත් සැපයුමේ හිඟතාවක් ඇති වීමට ඉඩ නොදෙන බවට අපි ගෝලීය බොරතෙල් වෙළෙඳ පොළ වෙත පණිවුඩයක් ලබා දී තිබෙනවා.” එම ඒජන්සිය පවසයි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපා සංගමයේ රාජ්‍යයන්, මෙක්සිකෝව, කැනඩාව, ජපානය සහ තවත් රටවල් මෙම සාමාජිකයන් වෙති.

මේ අතර ලොව ප්‍රධානතම ඉන්ධන සැපයුම් සමාගම් දෙකක් වන ෂෙල් සමාගම සහ බ්‍රිටිෂ්පෙට්‍රෝලියම් (BP) යන සමාගම් රුසියානු බලශක්ති සමාගම් සතු සිය කොටස් අත්හැරීමටත්, එරට සමාගම් සමගින් පවතින ව්‍යාපෘති නැවැත්වීමටත් පියවර ගෙන තිබේ.

Visits: 305