2022 ජනවාරි මාසයේ අපනයන ආදායම 13%කින් ඉහළට

මෙරට වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,062.63ක් ලෙස සටහන්ව ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත උපුටා දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලය මේ බව සඳහන් කර සිටියි.

එය 2020 වසරේ ජනවාරි මාසයේදී අපනයනය ආදායම වූ ඩොලර් මිලියන 936.70ට සාපේක්ෂව 13%ක ඉහළ යාමකි. එසේම එය 2020 ජනවාරි මාසයේ වාර්තා කළ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 1,004.90 සාපේක්ෂව 5.7% ක වැඩිවීමකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා, 2022 ජනවාරි මාසයේදී අපනයන කාර්යසාධනය කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බවත් ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර‍ සියල්ලම පාහේ දිරිගන්වනසුලු ප්‍රවණතා පෙන්නුම් කර ඇති බවත් සඳහන් කර සිටියි.‍ එසේම මෙම ප්‍රවණතාවය නොකඩවා පවතිනු ඇතැයි බලාපොරොත්තු වන අතර වසර අවසානයේදී සැලකියයුතු ප්‍රගතියක් දැකගත හැකි වනු ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.

මෙහිදී ඔහු අපනයනකරුවන්ට සිය ප්‍ර‍ණාමය එක් කළ අතර අනාගතයේ දී අගය එකතු කිරීම හරහා මෙරට අපනයනවලට වැඩි වටිනාකමක් එක් කිරීම ද, සුවිශේෂී වෙළඳපොලවල් වෙත අවධානය යොමු කිරීම සහ නිෂ්පාදන පැස මෙන්ම වෙළඳපල විවිධාංගීකරණය කිරීම අවශ්‍ය බවද වැඩිදුරටත් පැවසීය. එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ ප්‍ර‍ධානතම වෙළඳපොලවල් ලෙස පෙන්වන ප්‍ර‍ගතිය අගය කරන අතරම ආසියානු කලාපය තුල සිය වෙළඳපල වඩා පුළුල් කළ යුතු යැයි ද සඳහන් කර සිටියි.

මේ අතර 2022 ජනවාරි මාසයේදී සේවා අපනයනය ආදායමද ඇමෙරිකානු ඩොලර් මිලියන 313.22 ක් ලෙස සටහන්ව ඇත. එය එය 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 42.2% ක වර්ධනයකි. එහිදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු ගතකර ඇති සේවා අපනයන තොරතුරු තාක්ෂණ සේවා / ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරණ සේවා (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, Transport and logistic වලින් සමන්විත වන බවත් සඳහන් වෙයි.

Views: 117