මෙරටදී පැවැත්වෙන විශාලතම සංචාරක සමුළුව ලබන අප්‍රේල් මාසයේ BMICHහිදී

මෙරට පැවැත්වෙන විශාලතම සංචාරක සමුළුව ලෙස ‘ඉන්දියාවේ සංචාරක නියෝජිත සංවිධානයේ 66 වැනි සම්මේලනය‘ ලබන අප්‍රේල් 19,20,21 තෙදින තුළදී BMICH හිදී පැවැත්වෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ඉන්දියානු සංචාරක නියෝජිත සංවිධානය සහ ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයින් ගේ  සංවිධානය හවුල් වී මෙම සමුළුව පවත්වනු ලබන අතර, ඊට සමගාමීව මෙරට සංචාරක ක්ශේත්‍රය ප්‍රවර්ධනය කිරීමත් සිදුවන බව සඳහන් වෙයි.

මෙම සමුළුව පිළිබඳ එකඟතා හුවමාරු කරගැනීම සහ ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ  (24) කොළඹ දී පැවැත්වුණි. ඊට එක් වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, 2022 වසර අවසාන වන විට ශ්‍රී ලංකාව ලෝකයේ  ප්‍රධානතම සංචාරක  මධ්‍යස්ථානයක් බවට පත් කරන බවද සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම 2018 වසරේ දී ශ්‍රී ලංකාවට  ඉන්දියානු  සංචාරකයින් ලක්ෂ 5 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබේ.

එම තත්ත්වය නැවත ඇති කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම මෙම සමුළුවේ අපේක්ෂාව වන අතර සමුළුවට සංචාරක නියෝජිතයින් පන්සියයක් සහ ගෝලීය වශයෙන් මෙරට සංචාරක ව්‍යාපාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය ආරාධිතයින් පනස් දෙනෙකු සහභාගිවීමට නියමිතය.

සමුළුවෙන් ඉන්දියාවේ සෑම ප්‍රදේශයකින්ම ශ්‍රී ලංකාව තුළට පැමිණෙන සංචාරකයින්ගේ දැවැන්ත වර්ධනයක් ඇති කර ගැනීමට  මෙන්ම මෙරට සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි ගෝලීය මාධ්‍ය අවධානය යොමු කිරීමට  අපේක්ෂා කෙරෙයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය  ඉන්දියානු සංචාරක නියෝජිතයින්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයින් ගේ සංවිධානය මෙහිදී තෛයි පාර්ශවීය ගිවිසුමක්  අත්සන් කිරීමට බලාපොරොත්තු වේ.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍යවරයා, “ඉන්දියානු සංචාරක නියෝජිත සංවිධානයේ  (TAAI)66 වන වාර්ෂික සමුළුව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම මෙරට සංචාරක ව්‍යාපාරය සඳහා නව හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.  නව ලොවට ගැලපෙන සංචාරක ව්‍යාපාරයක් රට තුළ ස්ථාපිත කිරීම  අපේ රජයේ අපේක්ෂාව .මේ නිසා මෙම සමුළුව  පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම පිළිබඳව  එම සංගමයට මගේ ස්තුතිය පිරිනමනවා.” යනුවෙන්ද පවසා තිබේ.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි ,ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු,ඉන්දියානු සංචාරක නියෝජිත සංගමයේ සභාපතිනී ජෝති මායාල්,ශ්‍රී ලංකා සංචාරක නියෝජිත සංගමයේ සභාපති  මහේන් කාරියවසම් යන මහත්ම මහත්මීන් සහභාගී වී තිබේ.

Visits: 53