යුක්රේන – රුසියා අර්බුදය නිසා රුසියානු ධනවතුන්ට ඩොලර් බිලියන 32ක් අහිමි වෙලා

මේ වසරේ ගත වූ කාලසීමාව තුළදී රුසියාවේ ධනවත්ම පුද්ගලයන් හට ඩොලර් බිලියන 32ක මුදලක් අහිමි වී ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි. යුක්රේනය සහ රුසියාව අතර පවතින අර්බුදකාරී තත්ත්වය සහ ඒ හේතුවෙන් රුසියානු ව්‍යාපාර සඳහා පැනවී ඇති සම්බාධක මේ සඳහා මූලිකවම හේතුව වී තිබෙන බව සඳහන් වෙයි.

විශේෂයෙන්ම රුසියානු ජනාධිපති විලැදිමීර් පූටින් පසුගිය සඳුදා දිනයේදී නැගෙනහිර යුක්රේනයේ පිහිටි ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් යන පළාත් ස්වයං පාලන ප්‍රදේශ ලෙස නම් කිරීමත් සමගින්ම රුසියානු කොටස් වෙළෙඳපොළ කඩාවැටීමට ලක්විය.

මෙහිදී මූලිකවම රුසියාවේ ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරවල කොටස් හිමිකාරීත්වය සහිත ධනවතුන්ගේ වත්කම් වැඩි වශයෙන් පහත වැටීම් සිදුව තිබෙන බව පැවසෙයි.

එසේම දෙරට අතර මෙම මතභේදකාරී තත්ත්වය තවදුරටත් දරුණු වීමේ අවස්ථාවක් පවතින අතර, ඊට සමගාමීව බටහිර රාජ්‍යයන්ගෙන් තවදුරටත් රුසියානු විරෝධී සම්බාධක පැමිණවීමේ අවස්ථාවක් පැවතීම හේතුවෙන් මෙම ධනවතුන් සඳහා එල්ල වන බලපෑම තවදුරටත් ඉහළ යනු ඇතැයිද අනතුරු ඇඟවී තිබේ.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය (Bloomberg Billionaires Index) තුළ ලොව ධනවත්ම පුද්ගලයන් 500 දෙනාගේ ලැයිස්තුවට අනුව, රුසියාවේ පොහොසතුන් අතර මුල් තැනක සිටින එරට Novatek බොරතෙල් සමාගමේ කොටස් හිමි ගෙනාඩි ටිම්චෙන්කෝගේ වත්කම මේ වසර ආරම්භයේ සිට ගත වූ දින කිහිපයේදී ඩොලර් බිලියන 6.47කින් පහත වැටී තිබේ. ඒ අනුව අද වනවිට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 16ක් ලෙස සටහන්ව ඇත.

එසේම Novatek සමාගමේ තවත් කොටස් හිමිකරුවෙකු වන ලියෝනිඩ් මිකෙල්සන්ගේ වත්කමද මේ වසර තුළදී ඩොලර් බිලියන 6.2කින් පහත වැටී ඇත. ඒ අනුව ඔහුගේ වත්කම අද ඩොලර් බිලියන 26.2ක් බවට පත්ව තිබේ. රුසියාවේ Lokoil සමාගමේ සභාපතිවරයා වන වැගිට් ඇලෙක්පෙරොව්ගේ වත්කමද ඩොලර් බිලියන 3.5කින් අඩුවී ඇති අතර, අද වනවිට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 19.3ක් ලෙස සටහන්ව ඇත.

මෙම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ ලැයිස්තුව සඳහන් කරන ආකාරයට අද වනවිට රුසියාවේ ප්‍රධානතම බිලියනපතියන් 23 දෙනා සතුව ඇති වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 343කි. එය පසුගිය වසරේ අවසානයේදී පැවැති ඩොලර් බිලියන 375ක වත්කම් හා සැසඳීමේදී ඩොලර් බිලියන 32ක අඩුවීමක් ලෙස සටහන්ව ඇත.

Views: 227