කොමර්ෂල් බැංකුව ජාතික ප්‍රේෂණ ජංගම දුරකතන ඇප් පහසුකම වන ‘ලංකා රෙමිට්’ සමග ඒකාබද්ධ වෙයි

රට තුළට පැමිණෙන පේ‍්‍රෂණ මුදල් සඳහා පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කළ නවතම ව්‍යාපෘතිය වන ‘ලංකා රෙමිට්’ නැමති ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන අයදුම සඳහා සහයෝගය දැක්වීමට පාර්ශවකාර බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව ඒකාබද්ධ වී ඇත. 

‘ලංකා රෙමිට්’ දියත් කිරීමේ නිළ අවස්ථාවට කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ විධායක අධ්‍යක්ෂ, සනත් මනතුංග මහතා සහභාගී වූ අතර බැංකුව විසින් මෙරටට පේ‍්‍රෂණ ගෙන්වීම සඳහා සිදුකර තිබෙන කාර්ය භාරය අගය කරමින් මෙහිදී සමරු තිළිණයක්ද ලබාදුන්නේය. මෙම උත්සව අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ තරුණ සහ ක‍්‍රීඩා අමාත්‍ය මෙන්ම සංවර්ධන සම්බන්ධීකරණ සහ නිරීක්ෂණ අමාත්‍යවරයා සහ ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම සමරු තිළිණ ප‍්‍රදානය කළේය.  

මෙම ජංගම දුරකතන අයදුම ලංකා ක්ලියර් ප‍්‍රයිවට් ලිමිටඞ් විසින් පාර්ශවකාර බැංකුවල සහයෝගයද ලබාගනිමින් සංවර්ධනය කළ අතර විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේදී දැනට පවතින පේ‍්‍රෂණ නාලිකා වෙත සෘජුවම මෙමගින් පිවිසිය හැකිබව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මේ නිසා, ශ‍්‍රී ලංකාවට මුදල් එවීමේදී වඩාත් පහසු සහ පිරිවැය ඵලදායී නාලිකා තෝරාගැනීමට අවස්ථාව හිමිවේ.

ශ‍්‍රී ලංකාවට පේ‍්‍රෂණ මුදල් ගෙන්වාගැනීමේදී වඩාත්ම සක‍්‍රීය බැංකුවක් වන කොමර්ෂල් බැංකුව පසුගිය වසරේදී පේ‍්‍රෂණ ගෙන්වා ගැනීම සඳහා ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. මෙහි නවතම වැඩසටහන ලෙස ‘Win a Million’ යන වැඩසටහන පවත්වමින් සිටින අතර මෙහිදී මාස හතරක් තුළ මිලියනපතියන් හතර දෙනෙකු බිහි කිරීමට කටයුතු යොදා තිබේ. කොමර්ෂල් බැංකුව 2003 වසරේ ඊ-පේ‍්‍රෂණ සම්බන්ධයෙන් පුරෝගාමී බැංකුව වු අතර 2016 වසරේදී ශ‍්‍රී ලංකාවේ පළමු වරට පේ‍්‍රෂණ කාඞ්පතක් හඳුන්වාදීමට කටයුතු කළේ හදිසියකදී මුදල් අත්තිකාරම් ණය පහසුකමක්ද හඳුන්වා දෙමිනි. 

Hits: 48