ඩයලොග් ආසිආටා රු. 1.24ක ලාභාංශ ගෙවීමේ අවසන් තීරණය වාර්ෂික මහා සභා රැස්වීමේදී

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.24ක් ගෙවීමට ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මෙහිදී යෝජනා කර ඇතැයි සඳහන් වෙයි.

මෙය 2021 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම ලාභාංශ ගෙවීමේ දිනයක් හෝ ලාභාංශ රහිත දිනයක් (XD Date) දිනයක් සම්බන්ධයෙන් සමාගම මෙහිදී අනාවරණය කර නැත.

ඒ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීමේදී ගනු ලැබීමට නියමිතව තිබීම ඊට හේතුව වී තිබේ.

එසේම මෙම ලාභාංශ බෙදාහැරීමේ අවස්ථාවෙන් පසුවද සමාගමට තමන් සතුව ඇති ණය ගෙවීමේ ඇති හැකියාව පිළිබඳව සිදුකළ පරීක්ෂාව සම්බන්ධයෙන්ද අධ්‍යක්ෂ මණ්ඩලය සෑහීමකට පත් වූ බවත් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ අනුව මෙම ලාභාංශ ගෙවීමේ යෝජනාව ඉදිරිපත් කෙරෙන ඩයලොග් ආසිආටා සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ඉදිරියේදී පැවැත්වෙනු ඇති බවත්, එම දිනය සහ එහිදී ලැබෙන තීන්දුව අනුව මෙම ලාභාංශ කොටස් හිමිකරුවන්ට බෙදා දීමේ දිනය සම්බන්ධයෙන් අනාවරණය කරන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් පසුගිය 2021 වසරේ පෙබරවාරි මාසයේදීද මෙවැනිම ආකරයට 2020 මූල්‍ය වර්ෂය වෙනුවෙන් වූ අවසන් ලාභාංශ ගෙවිමක් පිළිබඳ නිවේදනය කරන ලද අතර, එහිදී කොටසකට ශත 74ක් බැගින් ලබාදීමට තීරණය විය.

එහිදී එම තීරණය සම්බන්ධයෙන් වන දිනය ප්‍රකාශයට පත් කිරීම මැයි මාසයේ 21 වැනිදා සිදු වූ අතර, ඒ අනුව ලාභාංශ ගෙවන දිනය ලෙස 2021 ජූලි 15 වැනිදා සහ ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ජූනි 25 වැනිදාත් නම් කෙරිණි.

ඩයලොග් ආසිආටා සමාගමද 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2021 මූල්‍යවර්ෂය වෙනුවෙන් වන කාර්තුමය මූල්‍ය ප්‍රකාශනය ඉදිරිපත් කළ අතර, එහිදී එම සමාගම් සමූහය අදාළ 2021 මූල්‍ය වර්ෂය සඳහා වන  ආදායම් රුපියල් බිලියන 141.98 ක් ලෙස වාර්තා වී ඇති බවත්, එය පෙර වසරේ මෙම කාලයට සාපේක්ෂව 18%ක වර්ධනයක් බවත් පවසා සිටියි. එසේම 2021 මූල්‍යවර්ෂයේ සිව්වැනි කාර්තුවේදී රුපියල් බිලියන 37.18ක ආදායමක් උපයා ගත් බවත් සමාගම සඳහන් කරයි.

Views: 283