“විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක්” – මුදල් ඇමති බැසිල්

රට තුළ පවතින විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක් බවත්, එමගින් ජනතාවට ඇති බලපෑම අවම කිරීම රජයේ අපේක්ෂාව බවද මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයන් වෙත ලබාදිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කමිටුවේ පළමු රැස්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. ඒ මහතා එම කමිටුවේ සභාපතිවරයාද වෙයි.

ඒ අනුව කිරිපිටි, ගෑස්, තිරිගු පිටි සහ සිමෙන්තිවල යම් හිඟයක් පැවතියද සෙසු සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවත්ව පවතින බවද මෙහිදී අනාවරණය වූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

විශේෂයෙන්ම ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි පරිදි පාරිභෝගික ජනතාව වෙත ලබාදීමේ යාන්ත්‍රණය තවදුරටත් විනිවිදභාවයට පත් කිරිම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බවත් සඳහන් වෙයි.

මුදල් අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට මෙම හමුවේදී වැඩියෙන්ම අවධානය යොමුව ඇත්තේ එළැඹෙන උත්සව සමයේදී රෙදිපිලි සහ ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට ලබ දීම සම්බන්ධයෙනි.

“අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා රජය කුමන ආකාරයේ බදු සහන ලබා දුන්නද එම සහන පාරිභෝගික ජනතාවට නොලැබීමේ තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය. ඇතැම් කූඨ වෙළෙඳුන් රජයේ සහන යටතේ ලබා ගන්නා භාණ්ඩ මිල ගණන් යටතේ අලෙවි කරන බවද මෙහිදී අනාවරණ විය.” මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර එකම භාණ්ඩය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය තුළ මිල ගණන්වල විශාල වෙනස්කම් සහිතව අලෙවි වීම පිළිබඳව මෙහිදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මුදල් අමාත්‍යවරයාගෙන් විමසා තිබේ. ඊට පිළිතුරු දී ඇති ලසන්ත අලගියවන්න ඇමතිවරයා, මිල දර්ශනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය කිරීමේ නීතිය රට තුළ ක්‍රියාත්මක නොවන බවද පවසා තිබේ.

එහිදී අදහස් දක්වා ඇති මුදල් අමාත්‍යවරයා, සම්පූර්ණ මිල දර්ශනය භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය කිරිම වෙනුවට අත්‍යවශ්‍ය ද්‍රව්‍යමිල ගණන් පමණක් හෝ ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව සඳහන් කර ඇත.

Visits: 183