මේ වසරේදී සංචාරක පැමිණීම් අපේක්ෂාව ලක්ෂ 11ක් වෙයි

මේ වසර තුළදී සංචාරකයන් ලක්ෂ 11 කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනවාරි මාසයේ 29 වැනිදා වනවිට මෙරටට පැමිණි සංචාරකයන් පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් අමාත්‍යවරයා ඊයේ මේ බව පවසා සිටියේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව පසුගිය ජනවාරි මස 01 වෙනිදා සිට 29 වන දා දක්වා සංචාරකයන් 76,538 දෙනෙකු පැමීණ තිබේ.

එම කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් 12,368 දෙනෙකු ම පැමිණ ඇත්තේ රුසියාවෙනි. ඉන්දියාවෙන් 11,028 දෙනෙකු පැමිණ ඇති අතර යුක්රේනයෙන් 7,427 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

එම දින 29 තුළ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 6,929 දෙනෙකු පැමිණ ඇති අතර ජර්මනියෙන් 4,902 ක්, ප්‍රංශයෙන් 3,337 මෙරටට පැමිණ තිබේ. මීට අමතරව පෝලන්තය, ඕස්ට්‍රේලියාව, මාලදිවයින හා කසකස්ථානය යන රටවලින් ද සංචාරකයන් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ අලුත්ම වාර්තා සදහන් කරයි.

පසුගිය වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 194,495 කි. එම වසරේ ජනවාරි මාසයේ දි ශ්‍රි ලංකාවට පැමිණ ඇත්තේ සංචාරකයන් 1,682 කු පමණයි.

කෙසේ වෙතත් ඩුබායිහිදී පැවැත්වෙන Expo 2020 ප්‍රදර්ශනයට පසුගිය ජනවාරි 03 දා සහභාගි වූ සංචාරක අමාත්‍යවරයා 2022 වසරේදී සිය සංචාරක ඉලක්කය ලක්ෂ 23ක් බව පවසා තිබුණි. ඒ අනුව මෙම සංචාරක ඉලක්කය අඩකින් කපා හැරීමක්සිදුව තිබේ.

මේ අතර 2022 වසරේදී මෙරටට පැමිණෙතැයි අපේක්ෂා කෙරෙන ලක්ෂ 11ක් පමණ වන සංචාරකයන් සංඛ්‍යාව වැඩි කරගැනීම සදහා රජය කෙටි කාලීන, මධ්‍ය කාලීන මා දිගු කාලීන වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිර යාමත් සමග ලෝකයේ සංචාරක ව්‍යාපාරයට යළි බාධාවන් එල්ල වි තිබුණ ද ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වයත් සමග සංචාරකයන්ගේ වැඩි අවධානය ශ්‍රී ලංකාවට යොමුව ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

Views: 84