luminex ලිමිටඩ් සමාගමත් CSE හි ලැයිස්තුගතවිමට සූදානමින්

මෙරට තුළ වසර 35කට ආසන්න කාලයක් පුරා මෙහෙයුම්හි නිරත ඉංජිනේරු සමාගමක් වන ලුමිනෙක්ස් ලිමිටඩ් (luminex ltd) සමාගම ඉදිරියේදී මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) හරහා කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමට සූදානමින් සිටින බව පවසයි.

ඒ සඳහා වන ඉල්ලුම්පත්‍රය දැනටමත් එම සමාගම මගින් ඉදිරිපත් කර ඇති අතර, අදාළ නියාමකයන්ගේ අනුමැතිය බලාපොරොත්තුව සිටින බවත් එම සමාගම නිවේදනයක් මගින් අනාවරණය කරයි.

වාර්තා සඳහන් කරන ආකාරයට මෙම නිකුතුවේ මූල්‍ය උපදේශකයන් සහ කළමනාකරුවන් ලෙස නවාරා කැපිටල් ලිමිටඩ් සමාගම පත් කරගැනීමටද ලුමිනෙක්ස් ලිමිටඩ් සමාගම කටයුතු යොදා තිබේ.

මෙම ලැයිස්තුගත විම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ලුමිනෙක්ස් ලිමිටඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ප්‍රනාන්දු මහතා, “අපගේ සමාගමෙහි හිමිකාරීත්වය පුළුල් කිරීමේ සහ සන්නාමයේ වටිනාකම් ඉහළ නැංවීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුවෙහි ‘දිරි සවි‘ පුවරුවෙහි අපගේ සමාගම ලැයිස්තුගත කිරිමට බලාපොරොත්තු වෙනවා.“ යනුවෙන් පවසා තිබේ.

සභාපති/විධායක නොවන අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ ද සිල්වා, ස්වාධීන – විධායක නොවන අධ්‍යක්ෂ අශෝක හෙට්ටිගොඩ, ස්වාධීන – විධායක නොවන අධ්‍යක්ෂ ලයනල් ඉඹුලාන සහ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ප්‍රනාන්දු

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රුවන් ප්‍රනාන්දු මහතා, “අද වනවිට රටෙහි ඉංජිනේරු අංශය තුළ ලුමිනෙක්ස් සමාගම ඉතාමත් ශක්තිමත් ස්ථාවරයකට පත්ව තිබෙනවා. ඒ වගේම එය ශ්‍රී ලංකාවෙන් ඔබ්බට සිය මෙහෙයුම් පුළුල් කිරිමටත් සූදානමින් සිටිනවා. විශේෂයෙන්ම අපගේ සමාගම සම්බන්ධව සිටින දුරකතන සන්නිවේදන සහ ජල සම්පාදන යටිතල පහසුකම් ආයෝජන ව්‍යාපෘති හරහා සමාගමේ ආදායම් වර්ධනයක් බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පවසා තිබේ.

1986 වසරේදී ස්ථාපිත කෙරුණු ලුමිනෙක්ස් ලිමිටඩ් සමාගම අද වනවිට රුපියල් බිලියන 2.5ක වාර්ෂික පිරිවැටුමක් සහිත සමාගමක් බවට පත්විමට සමත්ව සිටියි. එසේම ඉදිරියේදී දේශීය මෙහෙයුම් තවදුරටත් ඉහළ දැමීමට මෙන්ම මෑත අනාගතයේදී මැදපෙරදිග වෙතත් සිය ව්‍යාපෘති පුළුල් කිරීමටත් සූදානමින් සිටින බව පවසයි.

මෙලෙස මූලික කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා අරමුදල් මගින් සමාගමේ මෙම වර්ධනය වෙත මැදිකාලීනව යොදා ගැනීම සැලසුම බව ලුමිනෙක්ස් ලිමිටඩ් සමාගම වැඩිදුරටත් අනාවරණය කරයි.

සමාගම සඳහන් කරන ආකාරයට ආසන්න වසර 10ක කාලය තුළදී ඔවුන් ව්‍යාපෘති 850කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කර තිබේ. විශේෂයෙන්ම අද වනවිට ශ්‍රී ලංකාවේ දුරකතන සන්නිවේදන යටිතල පහසුකම් අංශය තුළ ප්‍රමුඛතම සමාගමක් බවටද ඔවුන් පත්ව සිටියි.

එහිදී ශ්‍රී ලංකාවේ මුල් පෙළේ දුරකතන සේවා සම්පාදක සමාගම් දෙකක් සඳහාම ෆයිබර් ජාල සංවර්ධන ව්‍යාපෘතීන්හි ඉදිරියෙන්ම සිටීමටද සමාගම සමත්ව සිටියි. මීට අමතරව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සිවිල් ඉංජිනේරු සේවා සම්පාදකයා ලෙසද එම සමාගම කටයුතු කරන බව පවසයි.

මෙම මෙහෙයුම් සියල්ලම සඳහාම තමන් සතුව රට පුරාම පිහිටි මෙහෙයුම් මධ්‍යස්ථාන අටක් සහ ව්‍යාපෘති කාර්යාල 29ක් තුළ 550කට ආසන්න ශක්තිමත් තාක්ෂණික ශ්‍රමබලකායක් පවතින බවත් ලුමිනෙක්ස් ලිමිටඩ් සමාගම වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර ඉදිරියේදී සිදු කිරිමට නියමිත මූලික මහජන කොටස් නිකුතුව සහ කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමට අදාළව ලුමිනෙක්ස් ලිමිටඩ් සමාගම මගින් පසුගියදා නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුද පත් කිරිම සිදු කර තිබේ. විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස එම පත් කිරීම සිදුව ඇත.

ඒ අනුව සමාගමෙහි වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ සභාපති/විධායක නොවන අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ ද සිල්වා, ස්වාධීන – විධායක නොවන අධ්‍යක්ෂ අශෝක හෙට්ටිගොඩ, ස්වාධීන – විධායක නොවන අධ්‍යක්ෂ ලයනල් ඉඹුලාන සහ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ය.

Visits: 910