COVID-19 නිරෝධායන නීති කැඩූ Credit Suisse සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ප්‍රමුඛ පෙළේ දැවැන්ත ගෝලීය බැංකුවක් වන ස්විස්ටර්ලන්තයේ Credit Suisse හි සභාපතිවරයා ලෙස කටයුතු කළ අන්ටෝනියෝ හොර්ටා-ඔසොරියෝ වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.

ඔහු සම්බන්ධයෙන් බැංකුව අභ්‍යන්තරව සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵල අනුව මෙලෙස ඔහු ඉල්ලා අස්වීම සිදුව තිබේ.

මෙහිදී අන්ටෝනියෝ හට එල්ල වී ඇති මූලිකම චෝදනාව වන්නේ එක්සත් රාජධානියේ ක්‍රියාත්මකව පැවැති COVID-19 නිරෝධායන නීති උල්ලංඝණය කිරිමයි.

බ්‍රිතාන්‍යයේ Lloyds බැංකු සමූහයේ හිටපු ප්‍රධානියා වූ අන්ටෝනියෝ පසුගිය වසරේදී මෙලෙස ස්විස්ටර්ලන්තයේ Credid Suisse සමාගමේ සභාපතිවරයා ලෙස පත්විය. ඒ වනවිටත් එම බැංකුව සතුව බොහෝ අකටයුතු කම් රැසක්ම සිදුව තිබූ අතර, හිටපු ප්‍රධානීන් කිහිප දෙනෙකුම ධුරවලින් ඉවත් කර තිබුණි.

කෙසේ වෙතත් අන්ටෝනියෝ හට Credid Suisse හි සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට හිමිව ඇත්තේ වසරකටත් වඩා අඩු කාලයක් බවත්, ඔහුගේ ඉල්ලා අස්වීමෙන් හිස්වන ධුරය සඳහා එහිඅධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ඇලෙක්ස් ලෙහ්මාන් පත් කරන බවත් බැංකුව පවසයි.

පසුගිය වසරේ ජුලි මාසයේදී බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී පැවැත්වුණු විම්බ්ල්ඩන් ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා ඔහු සහභාගි වීම මෙහිදී එල්ල වී ඇති චෝදනාවයි. එම අවස්ථාව වනවිටත් ඔහු එරට පැවැති COVID-19 නීතිය යටතේ නිරෝධායනයට ලක්ව සිටිය යුතු තැනැත්තෙකු බව හඳුනාගෙන තිබේ.

පසුගියමාසයේදී බැංකුව මගින් මේ සම්බන්ධයෙන් මූලික විමර්ෂනයක් සිදු කර ඇති අතර, එහිදී අන්ටෝනියෝ නිරෝධායන නීති උල්ලංඝණය කර ඇති බව හඳුනාගෙන ඇත

මේ සම්බන්ධයෙන් බැංකුව මගින් නිකුත් කරන ලද නිවේදනයකට අදහස් දක්වා ඇති අන්ටෝනියෝ, “මා විසින් සිදුකරන ලද පෞද්ගලික ක්‍රියාකාරකම් කිහිපයක් නිසා බැංකුව යම් අපහසුතාවකට පත්ව තිබෙන බව මම පිළිගන්නවා.” යනුවෙන් පවසා තිබේ.

Views: 102