ටොම්ලින් උද්‍යානය සහ නාගරික රථගාල උද්‍යානය අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ඉදිකළ “ටොම්ලින් උද්‍යානය” හා සහස් උයන “නාගරික රථගාල උද්‍යානය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (16) පස්වරුවේ විවෘත කරන ලදි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් මෙම උද්‍යාන නිර්මාණ කර තිබේ.

ටොම්ලින් උද්‍යානයේ ස්ථාපිත සමරු ඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍යතුමා පීත්ත පටිය කපා විවෘත කිරීම සංකේතවත් කළේය. අග්‍රාමාත්‍යතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූ අතර උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක එම්.එම්.ජේ.ඊ.ජී බණ්ඩාර මහතා මෙහි දී ව්‍යාපෘති ප්‍රගතිය විස්තර කර ඇත.

වන්දනාකරුවන්ට විවේක ගැනීම සඳහා කාමර පහසුකම්, සනීපාරක්ෂකපහසුකම් හා වෙළඳ කුටි 16කින් සමන්විත ටොම්ලින් උද්‍යානය ඉදිකිරීමට ලෝක බැංකු ආධාර යටතේ වැය කළ මුදල රුපියල් මිලියන 374කි.

අනතුරුව සහස් උයන “නාගරික රථගාල උද්‍යානය”වෙත පැමිණි අග්‍රාමාත්‍යතුමා එහි සමරු ඵලකය නිරාවරණය කර තිබේ. විවෘත රංග පීඨයක්, හස්ත කර්මාන්ත වෙළඳ සංකීර්ණයක්, බොජුන් පියසක් සහ ළමා උද්‍යානයකින් සමන්විත මෙම උද්‍යානය විවේක පරිශ්‍රයකින් ද සමන්විතය.

ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 531ක් වැය කරමින් ඉදිකළ මෙම “නාගරික රථගාල උද්‍යානය” පැවති නාගරික රථගාල මත ඉදිකර තිබේ.

Visits: 256