“CIFL වන්දි අයැදුම්පත් මාර්තු 05ට පෙර ඉදිරිපත් කරන්න” – මහ බැංකුව

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් බලපත්‍රය අවලංගු කර ඇති සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) සමාගමෙහි තැන්පත්කරුවන්ට අදාළ වන්දි හිමි කරගැනීම සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙම වන්දි ලබා ගැනීම සඳහා වන අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ලබන මාර්තු 05 වැනිදා ලෙස ප්‍රකාශයට පත් කෙරෙන බවත්, මෙතෙක් එම අයැදුම්පත් ඉදිරිපත් කර නොමැති තැන්පත්කරුවන් ඊට පෙර එම අයැදුම්පත් ඉදිරිපත් කිරීම සුදුසු බවත් මෙහිදී මහ බැංකුව පවසයි.

2018 වසෙර් මාර්තු 05 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙලෙස සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙත මුදල් ව්‍යාපාර කටයුතු සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීම සිදුවිය. ඒ අනුව එම දිනයේ සිට වසර හතරක කාලයක් ඇතුළතදී මෙම වන්දි මුදල් ගෙවා දැමීම අවසන් වන බව පැවසෙයි.

මෙහිදී ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයේ රෙගුලාසිවලට යටත්ව, එක් තැන්පත්කරුවෙකුට උපරිමය රුපියල් ලක්ෂ 11කට (1,100,000.00කට) යටත්ව වන්දි ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගෙන තිබේ.

“2021 අංක 02 දරණ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම රෙගුලාසිවලට අනුව සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) හි තැන්පත්කරුවන්ගේ අයැසුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2022 මාර්තු 05 වැනිදා වෙයි.” මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙතෙක් රක්ෂණ වන්දි ලබා ගැනිම සඳහා ඉදිරිපත් නොවූ, ඊට සුදුසුකම් ලැබූ පිරිස් එදින හෝ ඊට පෙර මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ තැපැල් කාමරය වෙත එම අයැදුම්පත් ගෙනැවිත් භාරදීම හෝ ලියාපදිංචි තැපෑලෙන් එවීම කළ යුතුව ඇත.

එහිදී අයැදුම්පත් එවීමේදී ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ CIFL ලෙස සඳහන් කිරිම අනිවාර්යය වෙයි.

මෙහිදී වැඩිදුර තොරතුරු 011 2477261, 0112398788, 0112477273 යන දුරකතන අංක වෙත රජයේ නිවාඩු දින හැර අනෙක් දිනවල කාර්යාල වේලාවලදී අමතා ලබා ගත හැකිය.

“2022 මාර්තු 05 වන දිනට පෙර සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය ඈවර කිරීම සම්බන්ධයෙන් නිසි බලය ඇති අධිකරණයක් විසින් ඈවරකරුවෙකු පත් කරනු ලැබුවහොත්, ඈවරකරු පත් කරන දිනය හිමිකම් අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය වෙයි.” යනුවෙන්ද මහ බැංකුව මෙහිදී සියලුම CIFL තැන්පත්කරුවන්ද දැනුම් දෙයි.

Views: 436