කොමර්ෂල් බැංකුවේ ATM ජාලයෙන් 2021දී රු.බි. 848.4ක් සහ දෙසැම්බර‍යේ රු.බි. 91.8ක් නිකුත් කරලා

ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATMs) වලින් සහ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) වලින් සමන්විත කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය මුදල් මුදාහැරීමේ ජාලය මගින් ශ‍්‍රී ලාංකිකයින් උත්සව සමයට සහ 2022 වසරට සූදානම් වූ පසුගිය දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 91.872 ක අති දැවැන්ත මුදලක් මුදාහැර තිබේ. 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව සඳහන් කරන්නේ දෙසැම්බර් 31 වනදා මෙම ජාලය මගින් රුපියල් බිලියන 4.234 ක මුදලක් මුදාහැර තිබෙන බවත් එය දෙවැනි වන්නේ 2021 අපේ‍්‍රල් 09 වනදා සහ 10 වනදා තනි දිනයක් තුළ නිකුත් කළ මුදල් එකතුවට පමණක් බවයි. මීට අමතරව, දෙසැම්බර් මාසයේ දින 16 ක් බැංකුවේ යන්ත‍්‍ර ජාලය මගින් දිනකට රුපියල් බිලියන 03 ක සාමාන්‍යයක් නිකුත් කර තිබේ. මේ දිනයන් අතුරින් එක් දිනයක් තුළ වැඩිම මුදල් ප‍්‍රමාණයක් නිකුත් කර තිබෙන්නේ දෙසැම්බර් 31 වනදා, දෙසැම්බර් 10 වනදා සහ දෙසැම්බර් 24 වනදා යන දින වලදී බව බැංකුව සඳහන් කරයි. 

ශ‍්‍රී ලාංකිකයින්ගේ ජීවිත නගා සිටුවීමට කොමර්ෂල් බැංකුව දක්වන දායකත්වයත් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATMs) වලින් සහ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) වලින් සමන්විත ස්වයංක‍්‍රීය මුදල් මුදාහැරීමේ ජාලයේත් විශ්වසනීයත්වය සහ ශක්තිමත් බව මෙයින් විදහා දක්වන  බව බැංකුව සඳහන් කරයි. මේ අනුව, මෙම ජාලය මගින් 2021 වසරේදී සමස්තයක් ලෙස රුපියල් බිලියන 848.427 ක මුදලක් නිකුත් කර තිබෙන අතර එය සාමාන්‍යයෙන් මසකට රුපියල් බිලියන 70.7 ක මුදල් නිකුත් කිරිමක් වේ.

කොමර්ෂල් බැංකුවේ මුදල් නිකුත් කිරීමේ ජාලයට ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 625 ක් සහ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs)275 ක් ඇතුළත් වන අතර එමගින් 2021 දෙසැම්බර් මාසයේදී ගනුදෙනු මිලියන 5.3 ක් සිදුකර තිබේ. එය සාමාන්‍යයෙන් දිනයකදී ගනුදෙනු 170,933 ක් හෙවත් පැයකදී ගනුදෙනු 7,122 ක් වේ. දෙසැම්බර් 24 වනදා මෙම ජාලය මගින් ගනුදෙනු 241,427 ක් සිදුකළ අතර එය 2021 වසරේදී දිනක් තුළ සිදුකළ වැඩිම ගනුදෙනු ප‍්‍රමාණය බව බැංකුව සඳහන් කරයි.  

Views: 266