Arimac, මහජන බැංකුව හා එක්ව මෙරට බැංකුකරණ ක්ෂේත්‍රය වෙනස් කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ පරිගණක මෘදුකාංග සහ ජංගම යෙදවුම් නිෂ්පාදන සමාගමක් වන  Arimac සමාගම, මහජන බැංකුව සමග එක් වී Digital Wallet යෙදුමක් හඳුන්වා දෙමින් මෙරට බැංකුකරණ ක්ෂේත්‍රය වෙනස් කිරීමට දායක වී ඇතැයි පවසයි.

මෙම Digital Wallet යෙදුම පුද්ගලයන්ට මෙන්ම ව්‍යාපාර සඳහා ද ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ගනුදෙනු සිදුකිරීමටත්, තම දත්ත සුරක්ෂිතව ගබඩා කර තබාගැනීමටත් අවස්ථාව සලසා දෙන ක්‍රමවේදයකි.

මහජන බැංකුවේ mobile wallet මගින් පාරිභෝගිකයන්ට ඉතාමත් ඉක්මනින් තම ගිණුම් වල ශේෂය පරීක්ෂා කිරීම, ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීම, උපයෝගීතා සේවා බිල්පත් ගෙවීම සහ වෙනත් බැංකු වල ගිණුම් කළමනාකරණය කිරීම වැනි සේවාවන් රාශියක් ලබාගත හැකි වේ. මීට අමතරව ජංගම දුරකථන ගිණුම් රීලෝඩ් කිරීම, බිල්පත් ගෙවීම සහ QR කේත හරහා ගෙවීම් සිදුකිරීම ආදිය සඳහාද අවස්ථාව සලසා දී ඇත.

වෙළඳුන් සඳහාද විශේෂාංග රාශියක් මෙම mobile wallet සේවාව යටතේ හඳුන්වා දී ඇති අතර,එමගින් ඔවුන්ට app එක තුළ ලියාපදිංචි වීම් සඳහා ඉල්ලීම් කිරීම, මුදල් වර්ගය අනුව ඉතිහාසය හා දළ විශ්ලේෂණ සිදුකිරීම, එක් දිනක් තුළ මුදල් ආපසු ගෙවීම් සිදුකිරීම, සහ QR කේත නිර්මාණය කිරීම ආදිය සිදුකළ හැකි වේ. මෙම ජංගම යෙදුම පෞද්ගලික මූල්‍ය කළමනාකරණය සඳහා මෙන්ම ව්‍යාපාරික මූල්‍ය කළමනාකරණය සඳහාද භාවිතා කිරීමට හැකිවීම ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් වනු ඇත.

“ඉදිරි වසර දහය ඇතුළත, දැනට අප ගෙවීම් සඳහා භාවිතා කරන නෝට්ටු, කාසි සහ ප්ලාස්ටික් කාඩ්පත් ඇතුළු බොහෝ ක්‍රම අභාවයට යාවි. මේ අතරින් ක්‍රමවේදයන් රැසක් ඉදිරි වසර පහ ඇතුළත භාවිතයෙන් ඉවත් වනු ඇතැයි කියා අප සිතනවා. මෙම තත්ත්වය හමුවේ, ජාත්‍යන්තර සමාගම් කිහිපයක් සමග අත්වැල් බැඳගෙන, ඩිජිටල්කරණ ප්‍රවණතාවක් සඳහා මුලපිරීමට Arimac පියවර ගනු ලැබුවා. මෙය හුදෙක් විද්‍යා ප්‍රබන්ධයක් නොවෙයි. උදාහරණයක් ලෙස ආසියානු කලාපය දෙස බැලීමේදී බොහෝ රටවල් මේ වනවිටත් ජංගම දුරකථන භාවිතයෙන් ගනුදෙනු සිදුකිරීමට යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේදී එම පෙරළිය සිදුකිරීම සඳහා පෙරමුණ ගනිමින්, රටේ මූල්‍ය-තාක්ෂණ ක්ෂේත්‍රය ඩිජිටල්කරණයේ මීළඟ අදියර වෙත රැගෙන යාමට Arimac සූදානම්” යනුවෙන් Arimac නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී චමීර ජයසිංහ මහතා පැවසී ය.

මෙම Mobile wallet සේවාවේ ආරක්ෂාවට fingerprint scanning සහ facial recognitionවැනි ජෛවමිතික ආරක්ෂක ක්‍රමවේදයන් යොදා ඇති අතර, එහි කෘත්‍රිම බුද්ධි තාක්ෂණයද භාවිතවන නිසා, upload කර ඇති තොරතුරු තහවුරු කරගැනීමටත්, පරිශීලකයන්ගේ ඩිජිටල් අත්සන් ලබාගැනීමටත් ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබේ. අනන්‍යතාවන් වැඩිදුර තහවුරු කරගැනීම සඳහා EKYC සහ VKYC මොඩියුල භාවිතා කිරීමට හැකි වීම, මෙහි onboarding ක්‍රියාවලියේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවක් වී ඇත.

“අප මේ යෙදුම නිර්මාණය කළේ මාස දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළතයි. සාමාන්‍යයෙන් පරිපූර්ණ mobile wallet යෙදුමක් නිර්මාණය කිරීමට මාස 8 ක් පමණ ගතවෙනවා. එහෙත් අපට ලැබුණු ඉලක්කය අනුව, වෙහෙස නොබලා කටයුතු කරමින් නිසි කලට එය සම්පූර්ණ කිරීමට අපගේ කණ්ඩායම සමත් වුණා. ඉදිරියේදී මෙය පරිපූර්ණ බැංකු සේවා යෙදුමක් දක්වා වැඩිදියුණු කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මෙය ජනතාව මුදල් පරිශීලනය කරන ආකාරය වෙනස් කරමින්, ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ පෙරළියක් ඇතිකරාවි. මේ පුරෝගාමී තාක්ෂණය ශ්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දීම සඳහා මහජන බැංකුව සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම අපට මහත් සතුටක්” චමීර ජයසිංහ මහතා විස්තර කළේය.

මෙම mobile wallet යෙදුම, අදාළ සියලුම නියාමන හා සයිබර් ආරක්ෂණ අවශ්‍යතාවන්ට අනුකූල වන අතර ඊට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියද හිමි වී තිබේ. ඕනෑම ජංගම දුරකථන සේවාවක් ඔස්සේ, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙය භාවිතා කළ හැකි අතර, කෙනෙකුට තම මාර්ගගත ගනුදෙනු සියල්ල ඉතාමත් පහසුවෙන් කළමනාකරණය කිරීම සඳහා මෙය කදිම විසඳුමක් වනු ඇත.

Views: 217