නොවැම්බරයේදී උද්ධමනය 11.1%ක් වෙයි

පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 11.1%ක අගයක් ගත් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය ඔක්තෝබර් මාසයේදී පැවැති 8.3%ක් වූ මතුපිට උද්ධමනයට සාපේක්ෂව තවදුරටත් ඉහළ යාමක් වාර්තා කර තිබේ.

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මෙම මතුපිට උද්ධමනය මනිනු ලබයි. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමෙන්තුව මගින් එය මාසිකව නිකුත් කරයි.

මෙහිදී නොවැම්බර් මාසයේ උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර කාණ්ඩය 7.8%ක හා ආහාර නොවන කාණ්ඩයේ 3.3%ක දායකත්වයක් ලබා දී ඇත.

වසරකට පෙරාතුව එනම් 2020 නොවැම්බර් මාසයේදී මෙම උද්ධමනය 5.2%ක් ලෙස සටහන්ව තිබුණි.

ඒ අනුව මේ වසරේ නොවැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර හා අහාර නොවන කාණ්ඩවල පැවැති ඉහළ මිල මට්ටම් හේතු වූ බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ආහාර කාණ්ඩය සැලකූ විට එළවළු, සහල්, කිරිපිටි, ලොකු ළූණු, අලුත් මාළු, කුකුළ් මස්, අර්තාපල්, පොල්, සීනි, පාන්, දෙහි, බිත්තර,  තිරිගු පිටි, මයිසූර් පරිප්පු, බිස්කට්, ළදරු කිරිපිටි, බනිස්, අමු මිරිස්, සුදු ළූණු, රතු ළූණු සහ සෝයා මීට් යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් වාර්තා වී ඇත. කෙසේ වෙතත් මුං ඇට, පොල්තෙල්, කරවල, පළතුරු සහ කව්පි යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී තිබේ.

මේ අතර ඔක්තෝබර් මාසය හා සැසඳූ විට, 2021 නොවැම්බර් මාසයේ ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය වැඩිවීම සඳහා මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය, රෙදිපිලි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, ප්‍රවාහන, ආපනශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා යන කාණ්ඩවලට අයත්යි අයිතයන්ගේ මිල වැඩිවීම් ප්‍රධාන වශයෙන් බලපා තිබේ. එහෙත් පසුගිය මාසය හා සැසඳීමේදී සෞඛ්‍ය, සන්නිවේදන, විනෝදාත්මක හා සංස්කෘතික සහ අධ්‍යාපන යන කාණ්ඩවල මිල දර්ශක අගය වෙනසක් වී නොමැති බවත් දෙපාර්තමේන්තුව පවසයි.

Visits: 160