“ලිට්රෝ ගෑස්වල සංයුතියේ වෙනසක් සිදුව නැහැ” – සභාපති තෙෂාර ජයසිංහ

ලිට්රෝ ගෑස්වල සංයුතිය පිළිබඳ කිසිඳු වෙනසක් නැති අතර, ඒ පිළිබඳ විදේශ විශේෂඥ ආයතනවල ද නිර්දේශ ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් ගෑස් භාවිතයේ දී ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විසින් ඊයේ (20) සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවේ දී සභාපතිවරයා මේ බව සඳහන් කර තිබේ. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා මෙම මාධ්‍ය හමුව මෙහෙයවා තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති සභාපතිවරයා, ගෑස් කාන්දු හා පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදු කළ වෙනසක් බවට ඇතැම් පාර්ශ්වවලින් මත පළ වුණද මෙතෙක් වාර්තා වූ කිසිදු සිදුවීමක් ගෑස් සංයුතියේ වෙනසක් නිසා ඇතිවූ සිදුවීම් නොවන බව මේ වන විට තහවුරු වී ඇතැයි පවසා ඇත.

එසේම ගෑස්වල ප්‍රමිතිය හේතුවෙන් යම් හෙයකින් එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් එක් පුද්ගලයෙකුට රුපියල් මිලියනයක රක්ෂණාවරණයක් ලබාදීමට ලිට්රෝ ගෑස් සමාගම එකඟ වී ඇති බව ලිට්රෝ ගෑස් සභාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ SLS සහතිකය සහිත නිර්දේශ දැන් නිකුත් වී ඇති අතර, ද්‍රව ගෑස් සංයුතිය බියුටේන් 70%ක සහ ප්‍රොපේන් 30%ක සම්මිශ්‍රණයකි. අද සිට “Propane Max 30% Vol” ලෙස ගෑස් සිලින්ඩරයේ මුද්‍රිතව ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇති බව ද සභාපතිවරයා මෙහිදී පවසා තිබේ.

ගෑස් උදුන් සඳහා භාවිතා කරන රෙගියුලේටරය ඇතුළු උපාංග ප්‍රමිතියෙන් තොර බවට දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන බවත්, ඉදිරි මාස 03 ඇතුළත ප්‍රමිතියෙන් යුත් උපාංග ලබා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දෙමින් මතුව ඇති ගැටලුවට පූර්ණ විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවත් තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කර තිබේ.

එසේම ඉදිරියේ දී එම උපකරණවල ප්‍රමිතිය පිළිබඳ වගකීම ද ප්‍රධාන ගෑස් සමාගම් දෙක වෙත පැවරීමට අපේක්ෂා කරන අතර මතුව ඇති තත්ත්වය වහාම අවම මට්ටමට ගෙන ඒමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වන විට සැලසුම් කර තිබෙන බවත් ලේකම්වරයා පවසා ඇත.

මීට අමතරව, ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳව විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුවේ නිර්දේශ අනුව සියලු ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

ඉදිරි උත්සව සමයේ කිසිදු අඩුවකින් තොරව ප්‍රතීතන මණ්ඩලය අනුමත කරන ලද ගෑස් වෙළෙඳපොළට නිකුත් කෙරෙන අතර ගැස් හිඟයක් පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගත යුතු බව ද ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේය.

ගෑස් කාන්දු හා පිපිරීම් නිසා ඇති වූ සිදුවීම්වලට අදාළව හානිපූරණයට සහ අදාළ ආයතනවලට එරෙහිව නිතිමය පියවර ගන්නේ ද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසුමට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ එවැනි සිදුවීම් වූ ස්ථාන රජයේ රස පරික්ෂකවරුන් විසින් විධිමත් පරීක්ෂණවලට භාජනය කර තිබෙන බවයි.

ගෑස් උදුන් සඳහා භාවිතා කරන උපාංග ප්‍රමිතියෙන් තොරවීම සහ නිවැරදි ලෙස භාවිතයට නොගැනීම හේතුවෙන් බහුතරයක් සිදුවීම් සිදුව ඇති බවට ඒ අනුව වාර්තා වී ඇති අතර, එබැවින් එම කිසිදු සිදුවීමක් සාපරාධි හැගීමකින් කළ බවට විද්‍යාත්මකව තහවුරු වී නොමැති බැවින් නඩු පැවරීමට නඩු නිමිත්තක් නැති බව දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

නිවැරදි ප්‍රමිතියෙන් යුත් ගෑස් උදුන් සහ උපාංග වගකීම් සහිත ආයතනවලින් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස ද මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කෙරුණු බවත් ජනාධිපති ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 46