hSENID BIZ කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම අද (21දා)

පසුගියදා අතිසාර්ථක අන්දමින් සිය මූලික මහජන කොටස් නිකුතුව සිදුකළ hSENID Business Solutions Limited සමාගම අද (දෙසැ. 21දා) දිනයේදී ලැයිස්තුගතවීම සිදුවන බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

එහිදී අද පෙරවරුවේ කොළඹ කොටස් හුවමාරුවෙහි සීනුව නාද කිරීමේ ඉසව්වක් හරහා මෙම ලැයිස්තුගතවීම සිදුවන බව පැවසෙයි.

මෙහිදී hSENID BIZ සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන පුවරුවෙහි ලැයිස්තුගත වන අතර 45103010-Application Software අංශය යටතේ එය වර්ගකිරීමට නියමිතව තිබේ.

සමාගම HBSN.0000 කේතය යටතේ ලැයිස්තුගත වන අතර, සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 276,695,376ක් ලැයිස්තුගත කිරීම සැලසුම වී ඇත.

පසුගිය දෙසැම්බර් 03 වැනිදා සිදු කෙරුණු hSENID Business Solutions Limited සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව වෙත පැය කිහිපයක් තුළ වාර්තාගත අන්දමේ අධිදායකත්වයක් හිමි විය.

එහිදී සමාගම මගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 55,339‍්,076ක් නිකුත් කර තිබූ අතර, කොටසක වටිනාකම රුපියල් 12.50ක් විය. ඒ අනුව නිකුතුවේ මුළු වටිනාකම රුපියල් මිලියන 700ක් විය.

කෙසේ වෙතත් සමාගමේ කොටස් 745,014,900ක් සඳහා ඉල්ලුම් කිරීමක් සිදු වූ අතර, ඉල්ලුම් කරුවන් 10,602 දෙනෙකු හ් සඳහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව කොටසක මිල රුපියල් 12.50ක් යටතේ හිමි වුණු ඉල්ලුම් පත්‍රවල වටිනාකම රුපියල් බිලියන 9.3ක් ඉක්මවා තිබුණි.

එය මුල් වටිනාකම මෙන් 13.5 ගුණයක අධි ඉල්ලුමක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව ආසන්න කාලසීමාවේදී වැඩිම දායකත්වයක් හිමි වූ මූලික කොටස් නිකුතුව බවටත් මෙම hSENID BIZ මූලික කොටස් නිකුතුව පත් විය.

Visits: 106