කොමර්ෂල් බැංකුව, IFC හි දේශගුණික බලපෑම් සම්මාන දිනූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වෙයි

ශ‍්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම පරිසරයට කාබන් මුදාහැරීම තුලනය කළ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ (IFC) Climate Assessment for Financial Institutions (CAFI) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ප‍්‍රධාන සම්මාන දෙකක් දිනාගත් ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව බවට පත්වී ඇතැයි පවසයි.

කොමර්ෂල් බැංකුව විසින් හරිතාගාර වායු (GHG) අඩුකිරීමට දක්වා තිබෙන ඉහළ දායකත්වය සහ 2020 වසරේදී දකුණු ආසියාව තුළ වැඩිම දේශගුණික මූල්‍යන ගනුදෙනු ප‍්‍රමාණයක් සම්පූර්ණ කළ මූල්‍යායතනය ලෙස ඇගයීමට ලක්කරමින් බැංකුවට මෙම සම්මාන පිරිනමා තිබේ.

දේශගුණික මූල්‍යන ඉලක්ක ජයගන්නා මූල්‍ය ආයතන ඇගයීමට ලක්කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සමායතනය විසින් මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය පළමු වරට පවත්වන ලදී. 

කොමර්ෂල් බැංකුවේ දේශගුණික මූල්‍යන ජයග‍්‍රහණ අතර පරිසරයට මුදාහරින කාබන් ඩයොක්සයිඞ් වායුව ටොන් 208,400 කින් අඩුකිරීම විශේෂ ස්ථානයක් ගන්නා අතර එය මාර්ගයෙන් මෝටර් රථ 40,000 ක් ඉවත් කිරීමට සමානවේ. එසේම, CAFI ක‍්‍රමවේදයට අනුකූල වන පරිදි හරිත ණය හෝ හරිත මූල්‍ය ගනුදෙනු 416 ක් බැංකුව විසින් සිදුකිරීමද මෙම ජයග‍්‍රහණ අතර කැපී පෙනේ.

බැංකු වලට සහ අනිකුත් මූල්‍ය ආයතන වලට දේශගුණික සුදුසුකම් තක්සේරු කිරීමට සහ මෙම ආයතන විසින් මූල්‍යනය කරන ව්‍යාපෘතිවල සංවර්ධන බලපෑම මැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සමායතනය විසින් හඳුන්වා දුන් අන්තර්ජාලය පදනම් කරගත් ඩිජිටල් පද්ධතියක් වන CAFI භාවිතා කරන දකුණු ආසියාව තුළ සිටින ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ ගනුදෙනු කරුවන් විසින් ඉදිරිපත් කළ හරිතාගාර වායුව අඩුකිරීමේ සහ දේශගුණික මූල්‍යන දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුව කොමර්ෂල් බැංකුව මෙම සම්මාන සඳහා තෝරාගෙන තිබේ. කොමර්ෂල් බැංකුව ජයග‍්‍රහණය කළ මෙම සම්මාන පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ දකුණු ආසියානු කළාපීය අධ්‍යක්ෂ, හෙක්ටර් ගෝමස් අන්ග් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘පුද්ගලික අංශය විසින් දේශගුණික විපර්යාස අවස්ථාවක් ලෙස දැකිය යුතුයි. මෙහිදී, තම රටවල ආර්ථිකයන් ධනාත්මක පරිවර්තනයකට ලක්වන වාණිජ වශයෙන් දැරිය හැකි නව්‍ය වූ විසඳුම් අවශ්‍යයයි. කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සමග වැඩ කටයුතු කරන දිගුකාලීන පාර්ශවකරුවෙක්. කොමර්ෂල් බැංකුව රට පුරා සිදුකර තිබෙන හරිත ආයෝජන කටයුතු මගින් ලබා තිබෙන ප‍්‍රතිඵල සහ එයින් සිදුකර තිබෙන ධනාත්මක බලපෑම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. එමගින්, ශ‍්‍රී ලංකාව වඩාත් තිරසාර සහ ශක්තිමත් අනාගතයක් කරා රැගෙන ගොස් තිබෙනවා.’    

කොමර්ෂල් බැංකුව ලබා තිබෙන මෙම කැපී පෙනෙන ජයග‍්‍රහණය පිළිබඳව බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙම සම්මාන දිනාගැනීම පිළිබඳව අපි අවංකවම සතුටු වෙනවා. අපි දේශගුණික මූල්‍යනය සහ පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අඩුකිරීම පිළිබඳව සෑමවිටම ප‍්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කිරීම එයට හේතුවයි. මෙම සම්මාන මගින් දකුණු ආසියාවේ දේශගුණික මූල්‍යනය සඳහා නායකයෙකු මෙන්ම පාරිසරික හැඟීමක් ඇති ප‍්‍රමුඛතම බැංකුව ලෙස අපිව ඔසවා තිබෙනවා. කාබන් උදාසීනත්වයට පත්වූ පසුවත් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අඛණ්ඩවම අඩුකිරීමට කැපවූ මූල්‍යායතනයක් ලෙස ඔවුන් අපිව ඇගයීමට ලක්කර තිබෙනවා. අපගේ මෙහෙයුම් කටයුතු වලදී හරිතාගාර වායූන් මුදා හැරීම අඩුකිරීමට අමතරව තිරසාර සහ දේශගුණය ආරක්ෂා කරන ව්‍යාපෘති සඳහා බැංකුව මූල්‍යන කටයුතු සිදුකරනවා. මීට අමතරව, හරිත ලෝකයක් කරා යන අපගේ ගමන් මගට එක්වීමට අපි විසින් අනිකුත් පුද්ගලයින් සහ පුද්ගලික ආයතනද උනන්දු කරනවා.’    

කොමර්ෂල් බැංකුව විසින් සිදුකරන විවිධ වූ හරිත වැඩසටහන් අතරට තිරසාර සහ හරිත මෙහෙයුම් කටයුතු සඳහා සහයෝගය ලබාදීම පිණිස ණය ලබාදීම, ගනුදෙනුකරුන් කඩදාසි රහිත බැංකුකරණයක් වෙත යොමු කිරීම, තම මෙහෙයුම් කටයුතු වලදී බලශක්තිය, ජලය සහ අනිකුත් සම්පත් භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය නැංවීම, සතුන් ජීවත් වන ස්ථාන සහ පරිසරය සංරක්ෂණය කිරීමේ ප‍්‍රජා වැඩසටහන් සඳහා සහයෝගය ලබාදීම ඇතුළත් වේ.

Views: 45