මාසය ආරම්භයේ පැවැති පසුබැසීම මඟහරවමින් දෙවැනි දිනටත් දර්ශක අගයන් ඉහළට

අද (දෙසැම්බර් 07) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඊයේ දිනයේ අග භාගයේදී මෙන් ඉහළ ගැණුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී වටිනා සමාගම්හි කොටස් මිලදී ගැනීම සඳහා වන උනන්දුව ඉහළ යාමක් දැකගත හැකි වී තිබේ. කෙසේ වෙතත් දිනයේ අගභාගයේදී LOLC සමූහයේ සමාගම් තුළින් ආයෝජකයන් ලාභ ඉපැයීමට බලාපොරොත්තුවීමත් සමගින්ම එම උනන්දුව යම් තරමකින් පසුබැසීමක්ද දැකගත හැකි වූ බව එම සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 11,034.25ත් ඒකක 11,191.14ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 11,088.17ක් බවට පත්විය. එය ඊයේ (දෙසැම්බර් 06) දිනයට සාපේක්ෂව ඒකක 53.76ක් එනම් 0.49%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+19.71), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි  පීඑල්සී RICH (+6.84), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+4.7), ලංකා අයිඕසී පීඑල්සී LIOC (+4.41), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+4.12), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-6.44), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-5.88), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-5.59), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-4.29), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී  CARG (-2.6) යනාදී සමාගම්ය.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව ඇලුමෙක්ස් පීඑල්සී සමාගම තුළ සිදු වුණු ගනුදෙනුවක් දිනයේ පිරිවැටුමෙන් 0.8%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 122ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 78ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,964.42ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 06) ‍ට සාපේක්ෂව ඒකක 17.42ක එනම් +0.44%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.02ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැම්බර් 06) වාර්තා කළ රුපියල් බිලියන 6.74ට  සාපේක්ෂව 10.6% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.95ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 67.14%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 83.55ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 122.09ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 38.54කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.20ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේලීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 161.18කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 21.28ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,508ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 25%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් යන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,318ක සහ රුපියල් මිලියන 969ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 107