HVA Foods PLC වෙතින් රු.මිලියන 249ක් වටිනා හිමිකම් නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත HVA Foods PLC සමාගම සිය හිමිකම් කොටස් නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. පසුගිය නොවැම්බර් 19 වැනිදා පැවැති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී ඊට අනුමැතිය හිමිව තිබේ.

මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් මගින් සමාගම සතුව ඇති ණයබරතාව ඉහිල් කිරීම සහ ඒ හරහා සමාගමේ ශේෂපත්‍රය ශක්තිමත් කිරීම අරමුණ බවත් සමාගම පවසයි.

මෙහිදී දැනට සමාගම මගින් නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් හතරක් සඳහාම නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් තුනක් හිමිවන ආකාරයට මෙම නිකුත්ව සිදු කිරීම අපේක්ෂාව වී තිබේ.

ඒ අනුව මෙම නිකුතුව හරහා සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 49,821,495ක් නිකුත් කෙරෙන බව HVA Foods PLC සමාගම පවසයි. මෙම එක් කොටසක් රුපියල් 5ක වටිනාකමට නම් කර තිබෙන අතර, සමස්ත නිකුතුවේම වටිනාකම රුපියල් 249,107,475කි.

මේ අතර සමාගමේ මව් සමාගම වන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම මෙම හිමිකම් නිකුතුව හරහා තමන්ට හිමි කොටස් සියල්ලම මිලදී ගන්නා බව දැනටමත් ස්ථිරවම ප්‍රකාශ කර ඇතැයිද සමාගම පවසයි.

කෙසේ වෙතත් මෙම හිමිකම් නිකුතුව සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතිය මෙන්ම සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියද අවශ්‍යව ඇතැයි HVA Foods PLC සමාගම වැඩිදුරටත් පවසයි.

2021 සැප්තැම්බර් 31 වැනිදා වනවිට HVA Foods PLC සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 33,946,105ක් එනම් 51.02%ක ප්‍රතිශතයක් ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ්කම්පැනි ලිමිටඩ් වෙත හිමිව තිබේ. එසේම කොටස් 6,642,866ක් එනම් 10%ක ප්‍රතිශතයක් HVA Lanka Exports (පෞද්) සමාගම වෙත හිමිය.

Views: 347