රට පුරා LANKAQR වැඩසටහන සමග කොමර්ෂල් බැංකුවත් එක්වෙයි

LANKAQR පද්ධතිය ඔස්සේ මුදල් නොවන ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ශ‍්‍රී ලංකාව පුරා දියත් කර තිබෙන ‘රටපුරාම LANKAQR’ වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුව පසුගියදා සහභාගී විය.

තරුණ සහ ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ සහ නිරීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම වැඩසටහනේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් එක්වන ලදී.

LANKAQR පද්ධතියට ඇතුළු වූ පළමු QR කේත පදනම් කරගත් ඇප් පහසුකම වන ComBank Q+ ඇප් පහසුකම LANKAQR සමග තිබෙන ඒකාබද්ධතාවය යළිත් තහවුරු කරමින් මෙම වැඩසටහන සඳහා පාවහන් සහ බයිසිකල් ටයර් නිෂ්පාදනයේ මෙරට ප‍්‍රමුඛතම නිෂ්පාදකයෙකු වන DSI සැම්සන් ගෲප් සමාගම සමග එක් විය.

 Q+ ගෙවීම් ඇප් සේවාව මේ වනවිට ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ඇප් සේවාව බවට පත්ව ඇත. ඉතාමත් පහසු ස්වයං ලියාපදිංචි වීමේ ක‍්‍රියාවලියක් මෙයට තිබෙන අතර ජංගම දුරකතනයකින් හෝ ඉන්-ඇප් බිල්පත් ගෙවීමේ පහසුකම මගින් QR කේතයන් ස්කෑන් කර මුදල් නොවන ගෙවීම් කිරීමේදී ඉහළම පහසුවක් සහ ආරක්ෂාවක් මෙමගින් පාරිභෝගිකයින්ට ලබාදෙයි. මෙම ඇප් පහසුකමේ ලියාපදිංචි වූ පාරිභෝගිකයින් සංඛ්‍යාව මෑතකදී 10,000 සීමාව පසුකළ අතර මාස පහක් ඇතුළත පාරිභෝගික පදනම දෙගුණයකින් වැඩිකරගෙන තිබීම මෙහිදී කැපී පෙනේ.  

LANKAQR ගෙවීම් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් අතර අඩු පිරිවැය ඩිජිටල් ගෙවීම් මාධ්‍යයක් ලෙසත් ජංගම උපකරණයක් මගින් ක‍්‍රියාත්මක කළ හැකි ආරක්ෂිත සහ පහසු ගෙවීම් මාධ්‍යයක් ලෙසත් ජනප‍්‍රිය කිරීමට LANKAQR ලංකාව පුරාම ප‍්‍රචලිත කිරීමේ ප‍්‍රවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක කරයි. 

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා (දකුණේ සිට දෙවැන්නා) අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (මැද) ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඞ් කබ්රාල් මහතා (වමේ සිට දෙවැන්නා), ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ඞී. කුමාරතුංග මහතා (වමේ කෙළවරේම) සහ DSI සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ, ඩිල්ෂාන් රාජපක්ෂ මහතා (දකුණේ කෙළවරේම) සේයාරුවෙන් දැක්වේ.

Views: 44