CLC හි වටිනාකම් ඉහළ යාම දර්ශක අගයන් ඉහළ නංවයි

අද (නොවැම්බර් 02) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරතුරදී ආයෝජකයන් අතර වැඩි වශයෙන් ලාභ ඉපැයීමේ අවස්ථාවන් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී රටෙහි ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පවතින කණස්සල්ල ඊට හේතු වී තිබේ.

කෙසේ වෙතත් අඩු කොටස් ප්‍රමාණයක් ගනුදෙනු සඳහා නිකුත් කර තිබෙන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම අද දිනයේදී ඒකක 154කින් ඉහළ යාමක් සිදු වූ අතර, එය සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමටත් දායකත්වය ලබා දී තිබේ. මීට අමතරව පාම් තෙල් හා සම්බන්ධ සමාගම් කිහිපයක සහ තවත් නිෂ්පාදන අංශයේ සමාගම් කිහිපයක කොටස් වටිනාකම් පෙර දිනයට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 10,084.16ත් ඒකක 10,321.93ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,271.71ක් බවට පත්විය. එය ඊයේ (නොවැම්බර් 01) දිනයට සාපේක්ෂව ඒකක 139.59ක් එනම් +1.38%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී, එල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 10.2%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 81ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 111ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+154.55), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+8.14), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+7.27), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+5.89), කාර්සන්ස්කුම්බර්බැච් පීඑල්සී CARS (+5.62), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-16.45), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-6.4), වැලිබල් වන් පීඑල්සී VONE (-4.86), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (-3.23), බ්‍රවුන්ස් ඉන්වෙස්ටමන්ට්ස් පීඑල්සී BIL (-3.22) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,668.56ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 01) ‍ට සාපේක්ෂව ඒකක 9.79ක එනම් -0.27%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.42ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැම්බර් 01) වාර්තා කළ රුපියල් බිලියන 3.7 ට  සාපේක්ෂව 20% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.58ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 54.62%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 46.44ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 587.54ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 541.09කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 46.78ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.69කි. එසේම මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 381.0ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,059ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 24%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,018ක සහ රුපියල් මිලියන 960ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 309

Leave a Reply

Your email address will not be published. Required fields are marked *