ඒෂියා කැපිටල් සම නිර්මාතෘ තිලාන් විජේසිංහ අමානා තකාෆුල් අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත අමානා තකාෆුල් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මෙරට පෞද්ගලික මෙන්ම රාජ්‍ය සමාගම් කිහිපයකම ප්‍රධාන ධුර දැරූ ප්‍රමුඛ පෙළේ වෘත්තිකයෙකු වන තිලාන් විජේසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.

පසුගිය ඔක්තෝබර් 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරිම සිදුව තිබේ. කෙසේ වෙතත් මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට ඒ මහතා සතුව සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම සඳහන් කරයි.

තිලාන් විජේසිංහ මහතා සිය වෘත්තීය දිවිය ආරම්භ කර ඇත්තේ ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු සහ සම්පත් බැංකුවෙහි සැලසුම් අංශ ප්‍රධානියා ලෙසිනි. එසේම ඒ මහතා 1990 දශකයේදී පිහිටවුණු ඒෂියා කැපිටල් පීඑල්සී සමාගමෙහි සම නිර්මාතෘවරයෙකුද වෙයි. එවකට එම සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජන බැංකුව ලෙසින්ද සැලකුණි.

1995 වසරේදී ඒ මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ලෙස පත් කෙරුණු අතර, එම ධුරය භාර ගැනීම සඳහා ඒ මහතා විසින් ඒෂියා කැපිටල් පීඑල්සී සමාගම තුළ තමන් සතුව තිබූ කොටස් සියල්ලම අලෙවි කර ඇතැයිද පවසයි.

එසේම ඔහු එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පත් වූ ලාබාලතම සභාපතිවරයාද වෙයි.

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය (PPP – Public Private Partnership) යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් වන කටයුතු සඳහා වන මුල පිරිම කර ඇත්තේද තිලාන් විජේසිංහ මහතාගේ ධුර සමයේදීය.

එහිදී 1996 වසරේ ඒ මහතාගේ මූලිකත්වයෙන් ආයෝජන මණ්ඩලය යටතේ යටිතලපහසුකම් ආයෝජන පිළිබඳ කාර්යාංශය ස්ථාපිත කර තිබේ. මේ හරහා මෙරට වෙත රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ සිදු වුණු ආයෝජන රැසක්ම හිමි වූ බව සඳහන් වෙයි.

ඒ අතරින් PPP මොඩලය අනුව සිදු කෙරුණු පළමු වරාය පර්යන්තය ලෙස සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් (SGAT) ඉදි කෙරිණි. පළමු කුඩා ජල විදුලි බලාගාරය සහ තාප විදුලි බලාගාරයද ඉදි කෙරිණි. එසේම අතුරුගිරියේ පිහිටි මිලේනියම් සිටි නිවාස ව්‍යාපෘතිය සහ ඒකල පිහිටි නිවාසි පුර යන මධ්‍යමපාන්තික නිවාස ව්‍යාපෘතිද ඔහුගේ කාලසීමාවේදී ඉදි කෙරී ඇත.

මිට අමතරව මෙරට තුළ පෞද්ගලික රෝහල් හතරක් (ආසිරි සර්ජිකල්, ලංකා හොස්පිටල්ස්, නයින්වෙල්ස් සහ කිංග්ස් හොස්පිටල්ස්) ඉදිකිරීමද ඒ මහතා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ධුරය දරද්දී ආරම්භ වූ ව්‍යාපෘති වෙයි.

එසේම ඒ මහතා මෙරට ප්‍රධාන පෙළේ ලැයිස්තුගත දැවැන්තම නිශ්චල දේපළ සමාගම් දෙකකම ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ. ඒ අතරින් ඒෂියන් හොටෙල්ස් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගම (සිනමන් ග්‍රෑන්ඩ් සහ සිනමන් ලේක්සයිඩ් හෝටල් අයත්ව තිබූ සමාගම) 2003 වසරේදී ජෝන් කීල්ස් සමාගමට අලෙවි කෙරුණේ ඔහුගේ උපදෙස් අනුවයි.

එසේම ඒ මහතා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය හිමි ඕවර්සීස් රියැලිටි සිලෝන් පීඑල්සී සමාගමේද සමූහ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබේ.

2010 වසරේදී සාංගමික වෘත්තීය දිවියට සමුදුන් තිලාන් විජේසිංහ මහතා අනතුරුව ව්‍යවසායකයෙකු ලෙස සමාගම් කිහිපයක්ම ආරම්භ කර තිබේ. ඒ අතරින් සිලෝන් ටී ට්‍රේල්ස් රිසෝට් එක් ව්‍යාපාරයකි. මෙහි කොටස් වැඩිමනක හිමිකාරීත්වය ඩිල්මා තේ සමාගමට හිමිය. එසේම wow.lk වෙබ් අඩවිය ඇරඹීමටත් ඒ මහතා මූලික විය. පසුව එය ඩයලොග් ආසිආටා සමාගමට අලෙවි කෙරිණි. එසේම සැෆිරස් ලංකා නමින් සමාගමක් පිහිටවූ අතර, එය මෙරට නිල් මැණික් සඳහා ඉහළම අගය එකතු කිරිමක් සිදු කරන සමාගම ලෙසද හැඳින්වුණි.

තිලාන් විජේසිංහ මහතා අද වනවිට තමන් පිහිටුවා ගත් TWC නම් ආයෝජන බැංකු සමාගමෙහි සභාපතිවරයා/ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි. ඊට අමතරව ඔහු තවත් රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ ධූරද දරයි.

Views: 242