මූඩීස් ආයතනයේ පිළිගත නොහැකි ණය ශ්‍රේණිගත කිරීමට රජයේ දැඩි අප්‍රසාදය

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම සම්බන්ධයෙන් මූඩීස් ආයතනය විසින් ඊයේ සිදු කරන ලද කාලානුරූපී නොවන සහ පිළිගත නොහැකි ශ්‍රේණිගත කිරීම පක්ෂග්‍රාහීභාවය පිළිබඳ ගැටලු නැවත ඉස්මතු කරවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම තීරණාත්මක අවස්ථා කිහිපයකදීම මූඩීස් ආයතනය මෙවැනි ශ්‍රේණිගත කිරීම් නිවේදන නිකුත් කළ බවත්, මෙවැනි ගැටලුකාරී ක්‍රියාවන් නිසා මූඩීස් ආයතනයේ ක්‍රියාවන්, ආර්ථික ප්‍රතිලාභ මත පමණක් පදනම්ව ක්‍රියාත්මක වේදැයි යන්න පිළිබඳ සැකයක් මෙන්ම ඔවුන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳවද ගැටලු ඇති කරන බවත් මහ බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙම ක්‍රියාවලිය මෙයට මාස තුනකට පෙර මේ ආකාරයටම ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම සඳහා සමාලෝචනයකට යටත්ව පවත්වා ගැනීමෙන් අනතුරුව සිදු කර ඇතැයි මහ බැංකුවේ අදහස වී තිබේ.

එසේම නැවත වතාවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මූඩීස් ආයතනයේ අතාර්කික ශ්‍රේණිගත කිරීම, 2022 වසර සඳහා වන රජයේ අයවැය ප්‍රකාශ කිරිම වැනි වැදගත් සිදුවීමකට දින කිහිපයකට පෙර සිදු වීම තුළින් ඔවුන්ට ඇති අනවශ්‍ය ඉක්මන්භාවය පෙන්නුම් කරන බව මහ බැංකුවේ අදහස වී තිබේ. එහිදී රජයේ මූල්‍යයන සැලසුම්වලට අයවැයෙහි ස්වභාවය අදාළ නොවන බවට මූඩීස් විශ්ලේෂකයින්ගේ අදහස වී තිබීම එවැනි විශ්ලේෂකයින්ගේ පවත්වා අනවබෝධය විදහා දක්වන බවත් මහ බැංකුව පවසයි.

“මෙමගින් මෙවැනි ආයතනවල පාලනයෙහි ඇති දුර්වලතා පිළිබිඹු කෙරෙන අතර, මෙම ආයතන නැගී එන වෙළෙඳ පොළ ආර්ථිකයන්හි ධනාව්තමක වර්ධනයන් සහ අපේක්ෂාවන් ක්‍රමානුකූලව නොසලකා හැර ඍණාත්මක අවදානම් සඳහා වැඩි බරක් යොදවන බව පෙන්නුම් කරයි. 2021 ඔක්තෝබර් 26 දින ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කළ පරිදි, රටේ විදේශ අංශය ශක්තිමත් කිරිමට අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග රැසක නවතම ප්‍රවණතා මෙන්ම, ඉන් කිහිපයක අපේක්ෂිත ප්‍රතිඵල දැනටමත් ලැබී ඇති බව මෙම ණය ශ්‍රේණිගත කිරීමේ ඇගයීමේදී අවධානයට ලක් කිරිමට මූඩීස් ආයතනය අසමත්ව ඇත.” මහ බැංකුව පවසයි.

මේ අතර “පාලන දුර්වලතා” සහ “අභියෝගාත්මක දේශීය දේශපාලන වාතාවරණය” පිළිබඳවද මෙම ශ්‍රේණිගත කිරීම තුළ සඳහන් කර ඇති බව පෙන්වා දෙන මහ බැංකුව, රටෙහි පවත්නා හොඳින් ස්ථාපිත වූ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ නොදැනුවත්බව පෙන්නුම් කරන බවත් පවසයි.

එසේම පසුගිය කාලය තුළදී රටක් වශයෙන් මුහුණ දුන් විවිධ දුෂ්කරතාවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි ආයෝජකයින් අපහසුතාවයට පත් නොකරමින් එම අහිතකර බාහිර තත්ත්වයන්ගෙන් යථා තත්ත්වයට පත්වීමේ දී රටක් වශයෙන් මුහුණ දෙනු ලැබූ අභියෝග කෙරෙහි මෙම ආයතනය පැහැදිලිවම සංවේදී නොවන බව මෙම ඇගයීම මගින් හෙළිදරව් වී ඇතැයිද මහ බැංකුව පවසයි.

මම පසුබිම යටතේ වුවද, ඉදිරි කාලසීමාව තුළදී ශ්‍රී ලංකාව අනාගත ණය වගකීම් ආපසු ගෙවීම සම්බන්ධයෙන් කැපවී කටයුතු කරන බව ජාත්‍යන්තර ආයෝජක ප්‍රජාව ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් වෙත නැවත සහතික කිරීමට රජය අපේක්ෂා කරන බවද මහ බැංකුව පවසයි.

එසේම ශ්‍රී ලංකා බලධාරීන් ආයෝජකයන් සමග ඍජු සම්බන්ධතා දිරිපත් කරන බවත්, බාහිර ආයතනවල පදනම් විරහිත නිවේදනවලින් පසුබට නොවී නිරන්තරව මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීම සඳහාද ආයෝජකයන් වෙත ආරාධනා කරනු ලබන බවත් මහ බැංකුව අවසන් වශයෙන් සඳහන් කරයි.

Views: 163