වසරේ මාස 10 තුළ සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම් රු. බිලියන 46.3 ඉක්මවයි

අද (ඔක්තෝබර් 29) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පෙර දිනයට සාපේක්ෂව සාර්ථකත්වයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම මූඩීස් ආයතනය මගින් පහත හෙළුණු ණය ශ්‍රේණිගත කිරීම්වලින් පසුව මෙන්ම මහජන බැංකුව සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පිළිබඳව අවස්ථාවලදී පවා වෙළෙඳ පොළ පසුබැසීමක් පෙන්නුම් නොකිරීම විශේෂත්වයකි.

එසේම අද දිනයේදී නිකුත් වුණූ EXPO සමාගමේ අලුත්ම මූල්‍ය ප්‍රකාශනයේ සඳහන් වූ සුවිශේෂී කාර්යසාධනය ආයෝජකයන් ආකර්ෂණයට හේතුවක් වනු ඇතැයි බලාපාරෙත්තු වුවද එය එසේ නොවුණි. මේ අතර ටයිල් අංශයේ සමාගම්හි වටිනාකම් ඉහළ යාම ඇතුළුව තවත් සමාගම් වෙත පැවැති ආයෝජක උනන්දුව තවදුරටත් ඉහළ ගිය බවද කොටස් තැරැව්කාර සමාගම් පවසයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 10,055.09ත් ඒකක 10,182.40ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,162.93ක් බවට පත්විය. එය ඊයේ (ඔක්තෝබර් 28) දිනයට සාපේක්ෂව ඒකක 25.08ක් එනම් +0.25%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, ෂෙව්රොන් ලුබ්රිකන්ස් පීඑල්සී, සම්පත් බැංකුව, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සහ ලංකා අයිඕසී පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 7.5%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 99ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 100ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+8.14), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (+5.12), ඊඩ්න් හොටෙල් ලංකා පීඑල්සී EDEN (+4.98), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+4.72), වැලිබල් වන් පීඑල්සී VONE (+4.34), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-8.26), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-4.29), ඩයලොග් ආසිආටා පීඑල්සී DAIL (-1.84), ඩීඑෆ්සීසී බැංකුව DFCC (-1.37), සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී CDB (-1.27) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,708.52ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 28) ‍ට සාපේක්ෂව ඒකක 20.96ක එනම් +0.57%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.94ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක්තෝබර් 28) වාර්තා කළ රුපියල් බිලියන 4.19 ට  සාපේක්ෂව 18% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.53ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 52.98%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 29.11ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 432.25ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 403.15කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 46.29ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 4.0කි. එසේම ෂෙව්රොන් ලංකා ලුබ්රිකන්ට්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 321.62ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,212ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 25%කි. එසේම ප්‍රවාහන සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,141ක සහ රුපියල් මිලියන 890ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 210